Must Read

Friday, August 5, 2016

"නිර්මාල්"... THE STORY OF A BOY - 10

****************************උපුටා ගැනීමෙන් වලකින්න*********************************

ඔහු කඩවසම් තරුණයෙකි.. උරුමය පොහොසතෙක් වන්නට වුවත් දෛවය ඔහුව මෙහෙ කාරයෙක් බවට පත් කොට ඇත. නමුත් තම උරුමය සෙවීම ඔහුගේ යටි හිත තුළ නළියයි.. ඒත් දෛවය ඊට භාදක රැසක් පමුණුවයි. ඔහු සටන් කරන්නේ ඔහුගේ උරුමය වෙනුවෙනි. තවත් පැත්තකින් ඔහුට ආදරණිය සහකාරියකගේ නොමද උණුසුම ලැබේ. වගකීම්, ආදරය, සහ උරුමය... මේ සියල්ල රැක ගැනීමට ඔහුට හැකිවේවිද...






මේ ඔහුගේ කතාවයි.. අද පටන් කොටස් වශයෙන් දිගහැරෙන්නේ .......




"නිර්මාල්"
..The Story of a Boy…

.......................................................................................................................................................................



10
උදේ හත පසුවී තිබේ.. බේබිගේත්, ලොකු මහත්තයාගේත් වාහන සෝදා පිරිසිදු කළෙමි.පත්තර ගෙනෙන්නට කඩයට ගිය විට මුදලාලි පැවසුවේ ඈ මාසික සගරාවක් බවයි. ඉතින් සුපුරුදු පත්තර ටිකම ගෙනවිත් මේසය මත තැබුවෙමි. අද සුමනා අම්මා සාදා තිබුනේ ඉඹුල් කිරිබත්ය. ඒ මා ආසම කෑමය.තවත් ඉදි ආප්පද තම්බා තිබුණි. කැමති අයෙකුට කැමති දෙයක් කෑමට කෑම කිහිපයක් පිළියෙළ කිරීම ඇගේ සිරිතය. ඒ වගේම බංගලාවේ සිරිත එය බවද ඇය පවසයි. ඉදි ආප්ප සමග කුකුල් මස් කරියක්, පොල් සම්බෝලයක් එක්කම පරිප්පු හොද්දකුත් ඇය පිළියෙළ කර තිබුණි. කෑම වල සුවඳට රස නහර පිනා ගියත් ඒ සේරටම වුවත් මගේ ඉඹුල් කිරිබත් කෑමට ඇති පෙරේතකම පරාජය කළ නොහැකිවිය. ඒ නිසා මා ආහාරයට ගත්තේ ඉඹුල් කිරිබත්ය.
සුමනා අම්මාගේ කෑම ඉතා රසවත්ය. ඇය කෑම පිසිමටම උපන් තැනැත්තියක් යැයි සමහර වෙලාවට මට සිතේ.
“සුමනා අම්මේ ප්ලේන්ටියකුත් තිබ්බා නම් මරු...”
“උඹත් ඉතින් කන්න නම් රුසියා...හිටපන් මන් වක් කොරලා දෙන්නම්.”
ඇය සිනාසෙමින් පවසයි.
“නිර්මාල් මිනිහෝ ඉක්මනට එනවා මෙහාට.” ලොකු මහත්තයාගේ කෑ ගහයි.
“සුමනා අම්මේ අන්න ලොකු මහත්තයා කතා කරනවා. තේක හෙටටම තියාගමු දැන් තේ බොන්න වෙන්නේ නෑ...”
“අනේ අසරණ කොල්ලා කෑම ටිකක් නිදහසේ කන්න නැති හැටි..” සුමනා අම්මා හුල්ලයි. මා බඩ කට පුරා කෑ සිටියත් ඇයට එය මදිය.ඇයගේ මේ ක්‍රියාකලාපය මට මගේ අම්මා සිහි කරවයි.
බඩත් අත ගාමින් සාලය පැත්තට යන විට සාලයේ කාලගෝට්ටියකි.
“හරි හරි මම එන්නම්.. උඹ පොඩ්ඩක් ශේප් කරගනින් කට්ටිය.. මුන් ටත් පොඩ්ඩ ඇත්නම් ඇති.. මම නැත්නම් ඔක්කොම ඉවරයි” ලොකු මහත්තයා කාටදෝ දුරකතනයෙන් මහා හයියෙන් බැන වදී.
“අනේ මගේ පුතාට උන් ගහයිද දන් නෑ..” සුමිත්‍රා මැඩම් ඔලුව මේසයේ තබාගෙන අඬයි.
“මේ වසවර්තියා ඒක මොහොතක් ලෙඩක් පටලවාගන්නේ නැතුව ඉන්න නෑනේ..” ලොකු නෝනා හුල්ලයි.
“මම ගිහින් උන්ව ශේප් කරන්නම් සුමිත්‍රා වත් අම්මවත් බය වෙන්න ඕනේ නෑ.. මේකාගේ මේ කුකුල් කේන්තිය නවත්ත ගන්න කිව්වට මු හැදෙන්නේ නෑනේ.. එකනේ මේ කරදර..”
“දැන් ඌ ගහලා තියෙන්නේ සභාපතියටද?”
“ඔව් අම්මා.. ෆැක්ටරියේ එකෙක් නිවාඩු ඉල්ලලා ඊයේ ගෑණිට ළමයෙක් හම්බුනා කියලා.. මූ දීලා නෑ. උඹට නෙමේනේ බබා හම්බුනේ කියලා බැනල යවලා. උදේ උන්ගේ සභාපතියා ඇවිත් ඒක ගැන ඇහුවම ඌගේ කනට ගහලා. දැන් සභාපතියා ඉස්පිරිතාලෙලු.කොල්ලව හිරකරන් වැඩ කරන එවුන්. ” ලොකු මහත්තයා බොහෝ කලබලෙනි.
“අනේ මගේ පුතා...” සුමිත්‍රා මැඩම් හුල්ලයි.
“අඬන්නේ නැතුවා ඉන්න සුමිත්‍රා..පුතාගේ වැරැද්ද ඌට ඉවසීමක් නෑ.”
“ඔව් ඉතින් ඔයත් මගේ පුතාටම බයින්න.. එතකොට ඔක්කොම හරි..”
“හරි හරි.. දැන් ඔය කට පියාගන්න. මගේ ඔලුව අවුල් කරන් නැතුව. මන් ගිහින් ඌව එලියට ගන්නම්. කෝ අර මිනිහා තාම ආවේ නැද්ද.. නිර්මාල්.....” ලොකු මහත්තයා නැවතත් බෙරිහන් දෙන්නට විය.
“මේ මම ආවා ලොකු මහත්තයා..”
“උඹ ආවද.. උඹ පුංචි බෙබිව අද ඇදුම් ටිකක් ගන්න අරන් යන්න ඕනේ. බේබි කියන කඩ ටිකට වාහනේ එක්ක පලයන්. මෙන්න යතුර.. ගැරේජ් එකේ තියෙන හයිඩ්බ්‍රිඩ් එකේ පලයන්”
“හොදයි ලොකු මහත්තයා...” මම එසේ පවසා යතුර අතට ගත්තෙමි. අද නම් සදලිට මා හසුවේ යැයි මගේ  සිත කියන්නට විය.
“අද මේ කරදර අතරේ ඕනේ නෑ තාත්ති හෙට යමු..” සදලි එසේ කිව්වේ පඩිපෙලෙන් බසිමිනි.
“නෑ දූ ඔයා යන්න... මෙහෙ එහෙම කරදරයක් නෑ. මූ එක්ක බයවෙන්න දෙයක් නෑ ගියාට..”
“හොදයි තාත්ති එහෙනම් මන් ඉක්මනට ඇදුමක් ඇදන් එන්නම්..”
“හරි දූ.. යන්න ඉක්මනට ලැස්ති වෙලා ගිහින් හොදට එන්ජෝයි කරන්න.
නිර්මාල්.. උඹත් ඇදුමක් ඇදන් ඇවිත් වාහනේ ගනින් ඉස්සරහට.. බේබිව පරිස්සමෙන් එක්ක එන එක තමුසෙට බාරයි.. හරි..”
“හොදයි ලොකු මහත්තයා.” 
මුරකුටියට පැමිණ මා සතු හොඳම ඇඳුම ඇඳ ගත්තෙමි. කෙල්ලෙක් සමඟ ෂොපින් යන පළමු වතාවයි. හිතේ ගැස්මත් තරමක් වැඩි වී ඇති බව දැනුණි.
වාහනය පණගන්වා ඉස්තෝප්පුව ඉදිරියට ගත්තෙමි. සඳලි දුව විත් වාහනයේ පිටු පස අසුනින් හිඳ ගත්තාය.ඇය ඇඳුම සකසා ගනිමින් වීදුරුව පහත් කොට ලොකු මහත්තයාට අත වනන්නට විය. ඉදිරියේ තිබූ කණ්නාඩියෙන් ඇගේ මුහුණ හොදින් පෙනේ.. හෙමින් වාහනය ගේට්ටුවෙන් එළියට ගත්තෙමි. මේ වර්ගයේ වාහනයක් පදවන පළමු අවස්ථාව නිසා හිතට පුංචි චකිතයක්ද තිබුණි. සඳලි මා හඳුනා ගනිදෝ කියාද සිත තරමක් නොසන්සුන්කමිනි.
“නුගේගොඩ කූල් ප්ලැනට් එකට යමු.”
“හොදයි පුංචි බේබි.” මම පැවසුවෙමි. ඈ ඉයර් ෆෝන් එක දෙසවන් තුළ රඳවා ගෙනය. දෑස් පියා ගෙන අසුනට හිස බාරගනිමින් ඈ මොනවාදෝ මුමුණයි. ඇගේ ඉරියව් ඉදිරිපස කණ්නාඩියෙන් මා හට හොඳින් පෙනේ. මම සෙමෙන් ඇය දෙස හරි බැලුවෙමි.ඇගේ සියුමැලි ඇගිලි තුඩු ඇගේ පාදය මතටම තාලයට වැදේ. මම නැවත ඉදිරිය බළාගත්තෙමි.
“නිර්මාල් කොහෙද..” එක වරම ඈ මා වෙත ප්‍රශ්නයක් යොමු කළාය.
“මම... මම ගම්පහ පුංචි බේබි.” බොරුවක් කියන්නට සිතුනත් ඇත්ත පැවසුවේ පසුව ලොකු නෝනාගෙන් ඇත්ත දැනගැනීමට ඉඩ ඇති බැවිනි.
“නිර්මාල් විතරද පවුලේ...?”
“නෑ බේබි.. නංගියි මල්ලියි ඉන්නවා”
“ඕකේ ඕකේ.. මගෙත් යාළුවෙක් හිටියා නිර්මාල් කියලා.”ඇය මා සමඟ පවසන්නේ මා ගැනය.. දැන් කුමක් කරන්නද.. ඒ ගැන හාරා ඇවිස්සීමෙන් වැළකිය යුතුය.මම නිහඬවම සිටියෙමි. වාහනය පදවන අතරතුරේම ඇය දෙස හොරැහින් බැලුවෙමි.. ඇය තරමක් නොසන්සුන් වී ඇත්දෝ මගේ සිත කියන්න විය. ඇය නැවතත් හඬ අවදි කරයි.
“නිර්මාල් ගාව ෆෝන් එකක් තියනවාද?” ඇය මගෙන් දුරකථනය පිලිබඳ විමසයි.දුරකථනයක් නැතිය කියන්නටත් බැරිය.හදිස්සියේ හෝ ඇය ඉදිරිපිට දුරකථනය නාද වුවහොත් මා කිව් බොරුව හසුවනු ඇත. එනිසා තිබේ යැයි කීවෙමි.
“ඔව් පුංචි බේබි..”
“මට ටිකක් දෙන්න පුලුවන්ද? මගේ ෆෝන් එකෙන් කෝල්ස් යන්නේ නෑ මොකද මන්දා.. මේකට රින් එකක් වත් දාලා බලන්න ඕනේ... ඉන්කමින් වැඩ ද බලන්න.”
“ගන්න පුංචි බේබි..” මම ඈ වෙත මගේ දුරකථනය දික් කළෙමි. ඇය එය ඇතුල අවුස්සනු එපා යැයි ප්‍රාර්ථනා කළෙමි.නිකන් හෝ ෆෝන් බුක් එකට ගියොත් නම් නිසැකවම ඇයගේ නම්බරය දකිනු ඇත.මගේ හර්දය ස්පන්දනය වේගවත් වනු දැනුණි. මිනුත්තුවකින් පමණ ඇගේ දුරකථනය නාද විය. ඇයගේ කිසිදු වෙනසක් නැත..
“මෙන්න ෆෝන් එක නිර්මාල්.. තැනක් යූ..” ඇය ඉදිරියට නැවි මගේ දුරකථනය ඉදිරි හසුනෙන් තැබුවාය. ඇය බොහෝ නිහඬය. පැයකට පමණ පසු අපි නුගේගොඩට පැමිණ සිටියෙමු. කුල් ප්ලැනට් එකේ කාර් පාකින් එකේ වාහනය නවතා ඇයට බසින්නට දොර ඇර දුන්නෙමි.ඇය වාහනයෙන් බැස නැවත හඬ අවදි කළාය.
“නිර්මාලුත් එන්න මාත් එක්ක ”
“මන් මෙහෙන් ඉන්නම් බේබි.”
“නිර්මාල්ට තාත්තා කිව්වා මතකනේ මාව පරිස්සම් කරන්න කියලා.”ඇය කියන දේ කරනවා හැර වෙන විසදුමක් නැති බව මට හැගුණි.
“ඉන්න බේබි මන් කාර් එක ලොක් කරලා එන්නම්.”මගේ ගෙවී ගිය ඩෙනිම හා පාට පිච්චි ගිය කමිසය ඇයට ලජ්ජා නැතුව වැනිය. ඇය මා හට එන්න කියන්නේ ඇයත් සමඟ ෂොපින් කිරීමටය.
“ඉක්මනට එන්න. තව තැන් දෙක තුනකටම යන්න තියෙනවා.”
ඉක්මනින් වාහනය ලොක් කර ඇය පිටුපසින් ගියෙමි.
“නිර්මාල් ... මගේ පස්සෙන් එන්න එපා. දකින මිනිස්සු හිතයි මේ මොන කෝලමක්ද කියලා.. මාත් එක්ක එන්න”
“හොදයි බේබි..”
“බේබි බේබි ගාන්න එපා.. මට නමක් තියනවා. ගෙදරදී විතරක් බේබි කිව්වම ඇති. මට සදලි කියන්න පිටදී...”
“අනේ බේබි එහෙම බෑනේ.. ”
“බේබි බේබි කියලා මට ලැජ්ජා කරන්න එපා මිනිස්සු ඉස්සරහා. පිස්සුද නිර්මාල්...? මිනිස්සු බලයි මේ මොකද කියලා.”
“හොදයි බේබි.. සොරි...”
“බේබි නෙමේ සදලි..” ඇය සිනාසෙයි. ඇය මා හදුනාගෙනවත්ද... එන්න එන්නම හදවතේ වේගය වැඩිවනවා සේ දැනුණි.
ඇය කෙලින්ම ගියේ ලේඩිස් ඇදුම් තිබු තැනටයි. ඇය තෝරන තෝරන හැදුම ඇඳ බලා නැවත එනකම් මා හට ඉවසීම ප්‍රගුණ කරන්නට සිදු වුණි. ගෙදරට හා ගමනට අඳින ඇඳුම් බොහොමයක් තෝරමින් මගේ දෑත් මත වූ බෑගයට දමන්නට විය. මම ඇගේ නාට්ටාමි මෙනි. ඇය යන යන තැන ඒ මල්ලත් ඔසවාගෙන මමද ගියෙමි. පැය තුනකට පමණ පසු ඇගේ තේරීම අවසන් විය. ඇඳුම් ටික කවුන්ටරයට දී නැවත ඇය පිටුපස එන ලෙස ඈ පැවසුවාය. දැන් නම් හොඳ ගණන්ය. තව ටිකක් මේක වටේ කැරකුනොත් කලන්තේ හැදෙයි යැයි මට සිතුණි.
ඇය ඉන්පසු ගියේ පිරිමි ඇදුම් තිබු කොටසටයි.
“නිර්මාල් මට හෙල්ප් එකක් කරන්න.. මගේ යාලුවෙක් ඉන්නවා නිර්මාල් විතර උස මහත ඇති.. එයාට හරියන ඇදුම් ටිකක් මට තෝරලා දෙන්න.” ඇය දැන් මට ඇදුම් තොරන්නටද පවසයි. ඇගේ ඉල්ලීම අහක දැමිය නොහැක.
“කැශුවල්ද ෆුල් කිට් ද බේබි..” ඈ මා දෙස ඔරවා බැලුවාය.
“සොරි සඳලි..” මම අමාරුවෙන් තොල් පටලුවෙමි.“මන් හිතන්නේ එයාට..... ෆුල් කිට් වැඩක් වෙන එකක් නෑ නිර්මාල්.... ඒක නිසා කැෂුවල් කිට් පහක් තෝරලා දෙන්න..”
“හොඳයි බේ.. සඳලි..”
“ඉක්මන් කරන්න නිර්මාල්..” ඇගේ විදානයෙන් මම ඉක්මනින් ඩෙනිම් කලිසම් තුනක් හා කැෂුවල් ෂර්ට් පහක් ඇයට තෝරා දුන්නෙමි.
“මගේ සයිස් එකට ගත්තේ බේබි.. සයිස් මදි වෙයිද දන්නේ නෑ..”
“මේ එකක් පිටෝන් කරන් එන්න බලන්න නිර්මාල්..”
“මම පිටෝන් කරාට කමක් නැද්ද බේබි..”
“කමක් නෑ ඉක්මනට..” ඇගේ පෙරැත්තට එක ඇඳුමක් ඇඳගෙන පැමිණියෙමි. එය මා හට තියා මැසුවා මෙනි.
ඈ මා දෙස බලා සිනාසුණාය. මම නැවත මගේ ඇදුම ඇඳගෙන එලියට ආවෙමි.
කවුන්ටරයට ගොස් බිල ගෙවා ඇය වාහනය දෙසට යන්නට විය. මළු ටිකද රැගෙන මම ඇය පසුපසින් ගියෙමි.වටේ පිටේ අය මා දෙස බලා සිනාසෙති. මා ඇගේ පෙම්වතා කියා සිනාසුනාද නොදනී.
වාහනය අසලට ගොස් ඈ සිනාසෙමින් මා දෙස බලා සිටියාය. ගමන් මළු ටික කැබින් ඒක තුළට දමා ඇයට දොර හැර දුන්නෙමි.
“නිර්මාල් දැන් නම් මට බඩගිනි.. ඉන්දියන් ෆුඩ් තියෙන තැනකට යමු.” මේ හරියේ ඇය වගේ කෙනෙක්ට ගොස් කෑම කෑමට ඉන්දියන් ෆුඩ් ඇති තැනක් නැත. නමුත් රාජගිරියේ තිබු නමස්තේ රෙස්ටුරන්ට් එක මගේ සිහියට ආවේ වාසනාවටය. මම නමස්තේ රෙස්ටුරන්ට් වෙත වාහනය පැදෙව්වෙමි.
“නිර්මාල්ටත් යමු මහන්සි ඇතිනේ..” ඇය පවසයි.
“මට බඩගිනි නෑ බේබි... බේබි ගිහින් එන්න..”
“ගෑණු ළමයෙක්ට තනියෙම ගිහින් කෑවැකිද නිර්මාල්... එන්න ඉක්මනට...” ඇය තවමත් පෙර සේමය. ඇගේ බහට කෙසේ හෝ මා හසු කරගනී. ඇය පිටු පසින් මම ගියෙමි.
ඇය හිඳ ගත් අසුනට අනිත් පැත්තෙන් හිඳ ගන්න හැඳුවත් ඇය පැවසුවේ ඇය ඉදිරියේ ඇති හසුනේ ඉඩගන්නා ලෙසය. මම ඇගේ අණට කීකරු වුණෙමි.
ඇය මෙනුව බලා කෑම ඕඩර් කරන්නට විය. මම ඇගේ මුහුණ දෙස බැලුවෙමි. ඈ මා දෙස බැලුවාය. මම නැවත බිම බලාගත්තෙමි.
ඈ තම දෑත් පටලවා ගෙන මා දෙස ටික වෙලාවක් බලා සිටියාය. මම නොදැක්කා සේ සිටියෙමි.
“රණසිංහ ආරච්චිගේ දොන් නිර්මාල් ජයනාත් රණසිංහ...” ඇය පැවසු දෙයින් මම තුෂ්නිම්භූත වුනෙමි. මා ඇගේ මුහුණ දෙස බැලුවේ පුදුම වූ දෙනෙතිනි. දැන් නම් මා හසු වී ඇති බව මා හට තේරුණි. නමුත් අවසාන මොහොත දක්වාම එය පිළිගැනීමට මම අකමැති වුණෙමි.
“ඇයි නිර්මාල්... පුදුම වෙලා?”
“නෑ බේබි මේ නිකන්..”
“නිර්මාල් රඟපාන්න පුරුදු වුනේ කවදා ඉඳන්ද?”
“බේබි මොනවා කියනවාද කියලා මට නම් තේරෙන් නෑ බේබි.. සොරි.. මම යන්නම් වාහනේට..” මම හසුනෙන් නැගිටින්නට සැරසුනෙමි. මා හට වෙන කරන්නට දෙයක් තිබුනේ නැත.
“ඔහොම ඉන්න නිර්මාල්..” ඇය මා හට එසේ පවසා ඇගේ දුරකතනයෙන් මා හට ඇමතුමක් දෙන්නට විය.
“ඔය රින්ග්ස් යන ෆෝන් එක දෙන්න බලන්න මට...”
“ඒ ඇයි බේබි..”
“නිර්මාල් යූ ආ... මයි ඩ්‍රයිවර්.. ඔයාට බෑ මගෙන් ප්‍රශ්න අහන්න... ඔයාට වෙනවා මම කියන දෙයක් කරන්න. ඇයි උදේ තාත්ති කිව්වා මතක නැද්ද?”
“සොරි බේබි.. මෙන්න.” මම කලිසම් සාක්කුවට අත දමා දුරකතනය රැගෙන දුන්නෙමි. ඇය දුරකථනය රැගෙන එය පිරික්සයි. දැන් නම් මගේ නහය ගාවටම වතුර පැමිණ ඇති බව මට දැනුණි.
“මෙන්න... දැක්කද.? දැන් ඔයා මොකද කියන්නේ නිර්මාල්? දැන් වත් ඔය රඟපාන එක නතර කරන්න.” ඈ මා හඳුනා ගෙන ඇත. දැන් ඉතින් කරන්නට කියා කිසිවක් ඉතුරු වී නැත.මම කවුරුන් දැයි පිළිගැනීමට කාලය පැමිණ ඇති බව හැගුණි..
“මට සමාවෙන්න සඳලි... මේ හැමදේකටම හේතුවක් තියනවා. නැත්නම් මන් ඔයාට මේ වගේ බොරුවක් කරන්න උත්සහ කරන්නේ නෑ. ඔයාව අඳුරන් නෑ වගේ ඉන්නේ නෑ.. සත්තයි.”
“මොකක්ද හේතුව?”
“ඒක දිග කතාවක් සඳලි. මන් ඔයාට පස්සේ කියන්නම්... දැන් ඔයා කන්න..”
“මට බඩගිනි නෑ. මුලින් හේතුව කියන්න.”
“හ්ම්.... ඔයාට මේක තේරුම ගන්න පුළුවන් වෙන එකක් නෑ සඳලි. මේ ජිවිතේ අපි හිතන විදියට කිසි දෙයක් වෙන්නේ නෑ.”
“තේරුම් ගන්න.. මුලින් කතාව කියලා ඉන්නකෝ නිර්මාල්. ඊට පස්සේ බලමු තේරුම් ගන්න..”
“ජිවිතේ වෙනස් වෙන්නේ අපිට කියලා නෙමේ සඳලි. නොකියාම එකපාරටම. ඔයාට මතකයිනේ මගේ තාත්තා නැති වුණා. ඔයා රට එතකොටත්.. හැම ප්‍රශ්නයක්ම ඊට පස්සේ තමයි.”
“ඔව් මට මතකයි දැන් අවුරුදු කීයක් ද අංකල් නැතිවෙලා. මම රට ගිය මුල්ම කාලෙනේ..”
“හ්ම්... ඔව් තාත්තා නැති උනාට පස්සේ තාත්තාගේ බිස්නස් හවුල් කාරයෝ අලුත් කතාවක් කිව්වා. ”
“මොකක්ද?”
“තාත්තා මැරෙන්න කලින් ලක්ෂ හාරසීයක් කම්පැනි එකෙන් අරන් කියලා. ඒක අපිට ගෙවන්න කිව්වා. එත් එච්චර ගාණක් එවලේ අපි ගාව තිබුනේ නෑ. මමත් පොඩි... අවුරුදු දහ අටක් විතර ඇති එතකොට. බිස්නස් වැඩ ගැන කිසිම දෙයක් මම දැනන් හිටියේ නෑ. තේරුමක් තිබ්බේ නෑ ඒවා ගැන. අඩුම ගානේ තාත්තාගේ කොම්පැනි එකටවත් මම ගිහින් තිබුනේ නෑ ඒ වෙද්දී. ඔයාට මතකයිනේ සඳලි.. අපි ඒ කාළේ අපේ ගෙවල් වල පෞද්ගලික දේවල් හෙව්වේ නෑනේ... පාවෙන ජිවත අපි ගෙව්වේ. අම්මටත් පිස්සු වගේ හිටියේ තාත්තා නැති උනාට පස්සේ...” මම සුසුමක් හෙළුවෙමි..
“ඊට පස්සේ..”
“කම්පැනි එකේ ලීගල් ලේටර්ස් වල දාලා තියනවා හවුල් කාරයන්ගෙන් කෙනෙක් වංචා කළොත් ඒ කෙනාට අයිති දේපල සේරම කම්පැනි එකේ මෙම්බර්ස් ලගේ දේපලක් බවට පත්වෙනවා කියලා. ඒ කියන්නේ සේවක දේපළක් වෙනවා. එහෙම නොවෙන්නේ ඒ වංචා කරපු ගාන අතින් ගෙව්වොත් විතරයි.”
“තාත්තා දැන් එහෙම ගාණක් අරන්ද?”
“නෑ සඳලි මගේ තාත්තා එහෙම කරන් නෑ. එහෙම කරන්න තාත්තට හේතුවක් තිබුනේ නෑ. හවුල් කාරයෝ තාත්තාව වංචා කාරයෙක් කළා. ඊට පස්සේ අපේ කොටස් සේවක දේපළ වුණා. හිටපු ගේ.. වාහන පවා... ලෝන් අරන් කියලා කම්පැනි එකට අරගත්තා.”
“දෙවියනේ ඊට පස්සේ..”
මගේ දෑස් වලින් කදුළු එයි..
“ඒයි... මේ අහන්න අනේ අඬන්න එපා... කදුළු පිහදාගන්න.අපි දැන් ඕවා මතක් නොකර ඉමු.. කමු දැන්.” ඈ ලේන්සුව මා වෙත දිග ඇරියාය..
“එපා සඳලි.. අවුරුදු ගාණකට මගේ හිතේ හිරවෙලා තියෙන කිසිම දෙයක් මන් කාත් එක්කවත් කිව්වේ නෑ.. මගේ යාළුවො හැමෝගෙන්ම මන් ඈත් වුණා. මම ඉන්න තැනක් වත් කවුරුත්ම දන්නේ නෑ. ඔයා අහන් ඉන්න.. මෙහෙම කියන එකෙන් මගේ හිතටත් හොදයි...” මම දෑත් වලින්ම කඳුළු පිසදා ගත්තෙමි.
“ඉතින් ඇයි ළමයෝ මටවත් කිව්වේ නැත්තේ. මේ දේවල් මම දන්නවා නම් මොනවා හරි කරනවා අපේ තාත්තිට කියලා හරි..”
“නෑ සඳලි අහන්නකො... ඉතින් ඊට පස්සේ අපිට කන්න වත් සල්ලි තිබ්බේ නෑ.. නෑදෑයෙක් වත් හිටියේ නෑ. හැමෝම තාත්තාට ඇගිල්ල දික් කළා.වංචා කාරයා කිව්වා. ඒවා අහළා අහළා අම්මට පිස්සු වගේ වෙන්න වුණා. ඊට පස්සේ තැන තැන රස්සා වලට ගියා. ඔයාට මතකයිද මම ඔයත් එක්ක ස්කයිප් කතා කර කර ඉඳලා එක පාරට නැති වුණා.. අන්න ඒ දවස් වල තමයි ඔක්කොම වුණේ. ඊට පස්සේ අම්මා කොහොම කොහොම හරි අපිට උගන්නන්න හැදුවා. මමත් දහපාළොස් දාහට රස්සාවල් ගොඩක් කරා. එත් ඒ ගාණ අපිට මදි සඳලි. ඊට පස්සේ තමයි මෙහෙ ජොබ් එකට ආවේ. මේ ඔයාලගේ ගෙදර කියලා මන් දැනන් හිටියේ නෑ... ඔයාව දකිනකම්...” මම ඇගේ මුහණ දෙස බැලුවෙමි.
“ඔහොම අසරණ විදියට මන් දිහා බලන්න එපා නිර්මාල්..ප්ලීස්..”
“නෑ නෑ සඳලි එහෙම නෑ..” මම සිනාසෙන්නට වෑයම් කෙරුවෙමි.
“මාව මඟ ඇරියේ ඇයි නිර්මාල්... ඕවා කිව්වොත් මම ඔයාව අත ඇරලා දායි කියලා හිතුවද.. නැත්නම් මම ඔයාට....”
“නෑ සඳලි.. එහෙම හිතන්නවත් එපා.. මම නොකීවේ මගේ කරුමේ ඔයාට කියලා ඔයාටත් හිතට ප්‍රශ්න දාන්න බැරි නිසා. ඔයා අනිතිමටම කතා කළාට පස්සේ ෆෝන් නම්බර් එක වෙනස් කරේ ඔයා ලංකාවට එනවා කිව්ව නිසා. ඔයාට මුණ දෙන්න තරම් ශක්තියක් මට තිබුණේ නැති නිසා...”
“හ්ම්ම්.. දැන් අපි ඕවා අමතක කරමු නිර්මාල්.. ඔයා දන්නවාද මම ඔයාව දැක්ක දවසෙම අඳුන ගත්තා... ඔයාගේ ඇස් මට අදුන ගන්න බැරි වෙයි කියලා හිතුවද.. එත් ඔයාමද කියලා ෂුවර් කරගන්න ඕනේ නිසයි අද වෙනකම් ඉවසුවේ..”
“ඔයා මාව අඳුන ගත්තද මුලින්ම?” මම ඇගෙන් පුදුමයෙන් මෙන් ඇසුවෙමි..
“ඔව්.. ඔයාව දැකපු මුල්ම දවසේ ඔයාගේ මුණ ගොඩක් මට හුරු නිසා මමයි ආච්චිට කිව්වේ සර්වන්ට් ලට රැවුල වවන්න දෙන්න එපා කියලා. ආච්චිට මම කිව්වා එංගලන්තේ නම් සර්වන්ට්ලට ඔහොම ඉන්න දෙන්නේ නෑ කියලා. ඒක කිව්ව ගමන් ආච්චි ඔයාගේ රැවුල කැප්පුවා. එදා කැළණි ආපු වෙලේ කැමරාව මන් ඕනේ කමින් මයි වාහනේ දාලා ගියේ. ඒ ඔයාගේ මුණ හරියටම බලාගන්න.. එදා මන් දැනගත්තා මේ ඔයා තමයි කියලා.අද ෆෝන් එක ඉල්ලුවෙත් ඔයා ගාව මගේ නම්බර් එක තියනවද කියලා බලන්න. ඔයාගේ කන්ටැක්ට් ලිස්ට් එකේ A sandali කියලා මගේ ඉන්ග්ලන්ඩ් වල නම්බර් එක මුලින්ම සේව් කරලා තිබ්බා...
“අම්මෝ ඔයාද ඒ ඔක්කොම කළේ.. හිතලාමද ඔක්කොම කරේ.. අයියෝ..” මගේ අත ඉබේටම නළලට ගියේ වේගයෙනි.
“ඔස්කාර් දෙන්න වටිනවා මෙයාගේ රඟපෑමට... මට බේබි කිය කියා..” ඇය සිනාසෙයි..
“මේ අහන්න නිර්මාල් හිනා නෙමේ. මම ඔයාට තාත්තිට කියලා හොඳ ජොබ් එකක් හදලා දෙන්නම් එතකොට ඔයාට ආපහු හොඳ ලයිෆ් එකකට යන්න පුළුවන්..”
“නෑ සඳලි.. එහෙම කරන්න එපා. මට එඩියුකේෂන් කොලිෆිකේෂන් වත් හරියට නෑ. මේ ජොබ් එක මට හොඳයි.. අහන්නකො ඔයා මට ප්‍රොමිස් වෙන්න මේ ගැන කිසිම කෙනෙක්ට කියන්නේ නෑ කියලා. මාව අඳුනනවා කියලාවත් ඔයා ගෙදරදී කියන්න එපා.”
“ඇයි ඒ? මම තාත්තිට කියලා...”
“නෑ සඳලි.. මන් මේ විදියටම ඉන්නම්.. ඔයා මට ප්‍රොමිස් වෙන්න.. ප්ලීස්.. මම කියන දේ මේ පාරට විතරක් අහන්න..”
“ම්ම්ම්.. ඔයාගේ කැමැත්තක් එහෙනම්.. ඒ වුණාට මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් මගේ ගෙදර වැඩ කරනවා මන් කොහොමද....”
“ඒකට කමක් නෑ සඳලි.. තව එකම එක උදව්වක් කරන්න සඳලි... මම ඔයාලගේ ගෙදරට කිව්වේ මගේ සර්නේම් එක සමරතුංග කියලා.”
“ඇයි ඒ බොරු කිව්වේ...”
“ගෙදරක වැඩ කාර කම් කරලා තාත්තට ලජ්ජා කරන්න බැරි නිසා සඳලි... ඔයාත් මගේ නම සමරතුංග විදියටම ඉන්න... ඒක ගොඩක් ලොකු උදව්වක් මට කරන.”
“ම්ම්ම්.. හොදයි. මම එහෙම කරන්නම් නිර්මාල්. දැන් අපි යමු ගෙදර. වෙලාව හතරත් වෙලානේ.”
“සඳලි... ඔයාට ගොඩක් ස්තුති... මාව මේ විදියට තේරුම් ගත්තට...”
“මැට්ටා.. යමු දැන්.”
“හරි මැට්ටි යමු...”
මම පැමිණ ඇයට වාහනයේ දොර හැර දුන්නෙමි. ඇය තනිවම ඉදිරි හසුනේ දොර හැර එහි අසුන් ගත්තාය.
“මේ මේ පිටිපස්සට යන්න. ඔයාගේ තාත්තා එහෙම දැක්කොත්..”
“පිස්සුද අනේ.. තාත්තා කොහෙද මෙහෙ..  ගෙවල් ලං වුනාම මන් පිටිපස්සට යන්නම්.”
“ම්ම්ම්ම්.. එහෙනම් ඔබේ කැමැත්තක් මිතුරිය..”
වාහනයට නැග ඇයත් සමඟ සතුටු සාමිචියේ යෙදෙමින් බොහෝ දුර පැමිණියෙමි. දන්නෙම නැතුව ගේ අසලටම ඇවිත් තිබුණි. ඈ දොරද නොඇරම ආසනය පිටුපසට පහත් කොට පිටුපසට පැන්නාය.ඇගේ වැඩ තවමත් පාසල් යන දරුවෙකුගේ මෙනි.වාහනය බංගලාවේ මිදුලට ගෙන ඇයට බසින්නට දොර හැර දුන්නෙමි.
“දූ ගොඩක් වෙලා ෂොපින් කරලා නේද...”
“ඔව් තාත්ති කුල් ප්ලැනට් එකේදී යාළුවො දෙන්නෙක් හම්බුනානේ... ඒ දෙන්නත් එක්ක හොඳට ඇවිද්දා..”
“හාහා.. ඒක හොඳයි.ගොඩ කාලෙකින්නේ මෙහෙ ඇවිදින්න ලැබුනෙත්.. වෙලාවක අපි ඔකොම යමුකෝ..”
“ඔව් තාත්ති මටත් ආසයි තාත්ති එක්ක ඇවිදින්න යන්න...”
හම්මේ මේ කෙල්ල කියන බොරු.. මාත් එක්ක කියෝ කියෝ ඉදලා යාළුවො එක්ක ෂොපින් කළාලු. මට පුදුම සිතුණි. පිටුපස වූ ඩිකිය හැර ඇගේ බඩු ටික එලියට ගත්තෙමි.ඇයද එතනට පැමිණියාය.
“ඔය ජෙන්ස් ඇඳුම් ඔයාට. ඒවා කාර් එකේම තියන්න පස්සේ ගන්න.” ඇය බොහෝ සෙමින් කීවාය.මම ඇගේ මුහුණ දෙස බැලුවෙමි.
“ඔය ඇඳුම් ටික ඉක්මනට කාමරෙට ගෙනත් දෙන්න” ඈ මහා හඩින් කීවාය..
“හම්මෝ මහන්සි තාත්ති..” ඈ හිමින් සීරුවේ ගෙට ඇතුල් වුවාය..
“ගිහින් වොෂ් එකක් දාගන්න දූ.”
“හරි තාත්ති..” ඈ එසේ පවසමින් උඩු මහලට දිව්වාය. මමද ඇගේ බඩු ටික රැගෙන ඇගේ කාමරයට ගියෙමි.
“බොරු කියන්න දන්නෙම නෑ නේද..” මම සිනාසෙමින් ඇසුවෙමි.
“ඔයාගෙන් තමයි පුරුදු වුනේ.. ” ඇය එය මා හට පැටවුවාය.
“මන් යනවා..” ඇගේ ඇඳුම් බෑග් ටික මේසය උඩ තබා යන්නට සැරසුනෙමි.
“ආ.. මට අමතක වුණා.. සඳලි ඔයා ඇයි අරහෙම ඇඳුම් අරගත්තේ..”
“යන්න යන්න ඉක්මනට. නැත්නම් මන් කෑ ගහනවා නිර්මාල් කාමරෙට ඇවිත් මට කරදර කරන්න හැදුවා කියලා.”
“හ්ම්.. මන් යනවා බේබි..” තරහා පෙනුමක් මවා ගනිමින් මම පහලට පැමිණියෙමි.
“හූ... හූ...” ඇය දොරත් අඩවන් කරගනිමින් එලියට එබී බලා මා හට ඔච්චම් කරයි.
තනිවම සිනහාසෙමින් මා පහලට පැමිණියෙමි..
“නිර්මාල් කොල්ලෝ මොනවා හරි කාළා හිටින්..” මා අසලට පැමිණි සුමනා අම්මා පැවසුවාය.
“බඩගිනි නෑ සුමනා අම්මේ..” මගේ කුස අද සතුටින්ම පිරි ඇත. හිතේ තිබු ලොකු බරක් නිදහස වූවා සේ දැනුණි.
“මෙහෙ වරෙන් උඹට බඩගිනි නැත්නම් මටද බඩගිනි...” ඇඳ සිටි චීත්තයක් නැවත සකසා ඉණට හිර කරගනිමින් ඈ කුස්සියට පිය මැන්නාය. කොපමණ බඩගිනි නැති වුවත් සුමනා අම්මාගේ බහට අවනත නොවී සිටීමට නොහැකි නිසා මම ද ඇගේ පිටුපසින් ගියෙමි.
“ආ... නිර්මාල් අයියේ... දැක්ක කල්.. මෙච්චර වෙලා හොඳට ෂොපින් කළා නේද..” ඒ සුධාරිකාය. ඈ මගේ ළඟටම එන තුරු මා දුටුවේ නැත.. ඈ මාගේ වයසේ වුවත් සමහර වෙලාවට මා අමතන්නේ අයියා කියාය. තවත් වෙලාවකට නම කියාද අමතයි.
“ඒකනේ නංගි. ෂොපින් කරන්නත් පින් කරන්න ඕනේ.” මම ඇයට විහිළුවෙන් පැවසුවෙමි.
“ඔන්න ඊළඟ පාර පඩි ලැබුනාම මාත් එක්ක ෂොපින් කරන්න නිර්මාල් එන්න ඕනේ ඔන්න දැන්ම කිව්වා...”
“ඇයි උඹත් මූ ලව්වා උඹේ මළු ටික උස්සගෙන යන්නද.. පලයන් අන්න අර වේලෙන්න දාපු මිරිස් ටික ඇතුලට ගනින් බලලා.”
“සුමනා නැන්දට ඉතින් ඉරිසියයිනේ මම ටිකක් නිර්මාල් එක්ක කතා කරාම..” ඈ සුමනා අම්මා දෙස දෑස් පොඩි කර බැලුවාය.
“අනේ උඹ හරි එකිනෙ.. උඹට ඉරිසියා කරන්න මම...” සුමනා අම්මාද වැඩේ අත නොහරී.
“ඇයි සුමනා නැන්දා රූප සුනදරිද ඒ කාලේ..” සුධාරිකාද ගේමටමය.
“ඔව්.. ඒ කාලේ මගේ පස්සේ කොල්ලෝ පෝලිමේ ආවේ..” සුමනා අම්මාද දෙවැනි වීමට කැමති නැත.
“ඒක තමයි මේ බංගලාවටම නැන්දා වයසට ගිහින් තියෙන්නේ..” දැන්නම් වැඩේ දුරදිග යන බව මට පෙනුණි.
“සුධාරිකා යන්නකෝ.. ගිහින් මිරිස් ටික ගන්නා.. සුමනා අම්මේ මම මෙහෙ බඩගින්නේ..”
“මේකිගේ මේ කියවිල්ලත් එක්ක උඹට බත් ටිකක් බෙදන්නත් අමතක වුණා නෙව මට.. මේකිට අනින්න හිතෙනවා ටොක්කක්.” සුමනා අම්මා හැඳි මීටත් දික් කරගනිමින් සුධාරිකා සමීපයට ගියාය.
“නැන්දා දැන් මට ගහන්නද හදන්නේ... ආ... පුලුවන්නම් ගහන්න බලන්න.. හුහූ... නැන්දට බෑ මට ගහන්න..” ඈ ගොතා තිබු කොණ්ඩයත් වනමින් මිදුලට දිව්වාය.
“උඹත් එක්ක ඔට්ටු අල්ලන්න වෙලාවක් නෑ..” සුමනා අම්මාත් බැරි කම පෙන්නන්නේ නැත. ඇය නැවතත් නොන්ඩි ගසමින් පැමිණ මා හට බත් බෙදන්නට විය. සුධාරිකා මිරිස් එකතු කරනු ඈතට පෙනේ.
“මොකෝ සුමනා අම්මේ නොන්ඩි ගහන්නේ..”
“අරකිත් එක්ක ඔට්ටු අල්ලලා මගේ කකුල මොකද්ද වුණා බන්..” මට බකස් ගා සිනහා ගියේය.
“උඹත් මට හිනා වෙනවා නේද කොල්ලෝ”
 “සුමනා අම්මේ.... මම සුමනා අම්මට හිනා වෙනවද?”
“හ්ම්.. මම නොදන්නවා ඈ උඹේ ගැන. මෙන්න මේක කාපන් දැන්.”
බත් ටිකත් බැරි බැරි ගානේ කෙසේ හෝ ගිල දමා ගේ ඉස්තෝප්පුව පැත්තට පැමිණියෙමි. ගෙයි ඉස්සාරහ පුටුවේ ඉයර් ෆෝන් දෙකත් කන් වල රඳවා ගනිමින් ටැබ් එකක් අතේ තබාගෙන ලොකු බේබිය. ඔහුගේ නහය උඩ ප්ලාස්ටරයකි. තොලද ඉදිමි තිබේ. උදේ කොම්පැනි සේවකයන්ගෙන් ගුටි කා වැනිය.
“මූට තව දෙක තුනක් දීලා අදින්න තිබ්බේ සේවකයෝ ටික එකතු වෙලා..” මම තනිවම සිතුණි.
“ඒයි.. මෙහෙ වරෙන්” ලොකු බේබි මා දෙස බලා පවසයි.
“මමද බේබි..” මම වටපිට බලා පැවසුවෙමි.
“ඔව් උඹ තමයි. ඇවිත් මගේ කකුල් දෙක මසාජ් කරපන් පොඩ්ඩක්.”
“මේ එනවා බේබි.”
මම ඔහු ලගට පැමිණි විට ඔහු බිම තිබු කකුල මා වෙත දිගු කළේය. මම එතැනම බිම සිඳ ගනිමින් ඔහුගේ කකුල සම්බාහනය කළෙමි.
“මූගේ කකුල මෙහෙම්මම අඹරලා දාන්න තිබ්බනම්.. මුගේ කකුල් මසාජ් කරන්න නෙමේ වටින්නේ කකුල් දෙකෙන් එල්ලන්න චීන ඌරා ” සම්බාහනය අතරතුරේදී සිතෙන් තනිවම ඔහුට බැන්නෙමි.
“අයියා...” ඒ සඳලි ගේ හඬය.
“මම ඉස්සරහ චුට්ටි..” ඔහු පැවසුවේය.
“අයියා උදේ අවුලක්.....” ඇය ඉස්තෝප්පුවට පැමිණෙමින් එසේ පැවසුවත් මා දුටු ගමන් ඇගේ හඬ හිර වූවා මෙන් විය.
“මොකද්ද කිව්වේ චුට්ටි. මට තේරුනේ නෑ.” ලොකු බේබි නැවත සඳලි දෙස බලා පැවසුවේය.මම ඇය නොදුටුවා සේ පහළ බලා ගත්තත් මගේ සම්බාහනය මදකට අමතකව ගියේ ඇය දුටු බැවිනි.
“ඕක හරියට කරපන්..” ඔහු කකුලෙන් මා හට පහරක් එල්ල කළේය. කකුල ගොස් වැදුනේ මගේ යටි බඩටය. බඩ කොරවූ බවක් දැනුණි.පහරත් එක්කම කැස්සක්ද අවේ ඉබේටමය.
“සමා...හ්ම්හ්හ්ම්හ්..සමාවෙන්න බේබි..” මම බඩත් අල්ලා ගනිමින් පැවසුවේ සදලි දෙසද හොරැහින් බලමින්.සඳලි ගේ මුහුණ රතු වී ගොස්ය.
“අයියේ උදේ ලොකු අවුලක් වුනේ නෑ නේද..” ඈ මා දෙස බලා ලොකු බෙබිගෙන් විමසුවාය.
“නෑ.. චුට්ටි එහෙම කේස් එකක් නෑ. උන්ට හොඳ පාඩමක් මන් උන්ගන්නවා අද කරපු වැඩේට.. ඔයා බලන්නකෝ..”
“පරිස්සමෙන් අයියේ... මගේ ඔලුව රිදෙනවා මන් ටිකක් නිදාගන්න යනවා..” ඈ සියල්ල පවසන්නේ මා දෙස බලාගෙනය.
“හරි චුට්ටි.. නිදාගන්න ගිහින්.”
“පලයන් පලයන් ඔය ඇති කළා..” ටික වෙලාවක් ගත වූ පසු ලොකු බේබි එසේ පවසා කකුල මා වෙතින් ගසා අරගත්තේය.
“උඹට දවසක දෙන්නම් මන් ඔක්කොටම ඇති වෙන්න..” මම සිතින් ඔහුට බැනවදිමින් මුරකුටිය දෙසට පැමිණියෙමි. දවස පුරා වෙහෙසීම නිසා ගතටත් තරමක් අපහසුය.
දුරකථනය ගෙන අම්මාට ඇමතුමක් දීමට සැරසුනෙමි. එහි නිව් මැසේජ් 3ක් තිබුණි. මැසේජස් ඕපන් කොට බැලු විට තුනම සඳලි ගෙනි. මම එකෙන් එක කියෙව්වෙමි.
1.    “ඔය වැඩේ ඉවර වෙලා ආවම මට මැසේජ් එකක් දාන්න.”
2.    “තාම ඕක ඉවර නැද්ද?”
3.    “තාම නැද්ද..?”
ඇය නම් බොහෝ විනොදයෙනි.මා ඇයට පිළිතුරු පණිවිඩයක් යැව්වෙමි.
“මොකද මේ හදිස්සියේ පුංචි බේබි?”
“නිර්මාල් මොකද්ද මේකේ තේරුම.. මම ඔයාට තාත්තිට කියලා ජොබ් එකක් ඔයාලා දෙන්නම්.. මේ ජොබ් එක ඔයාට හරියන්නේ නෑ.” මාගේ පණිවිඩයක් එනතුරු ඈ බලා සිට වැනිය. යැවූ විගසම නැවත ඇගෙන් පණිවිඩයකි.
“සඳලි.. එහෙම කරන්න එපා. මේ රස්සාවට මම කැමති.”
“ගුටි කකා ඉන්නද කැමති”
“මගේ එඩියුකේෂන් කොල්ෆිකේෂන් ටික හදාගන්න කම් ඉන්න වෙනවා සදලි.”
“හරි ඉතින් දැන් ඔයා පටන් අරන්ද තියෙන්නේ මොනවාහරි?”
“පටන් ගන්න ඕනේ......”
“මන් හිතුවා ඔයා දෙන උත්තරේ ඕක කියලා...”
“ඉක්මනටම පටන් ගන්නවා”
“හ්ම්.. ඔයාගේ කැමැත්තක් නිර්මාල්. අනේ මන්දා.. මේ එලියට ඇවිත් බැංග්ලෝ එකේ දකුණු පැත්ත බලන්නකෝ”
“හරී...” ඇගේ කීමට මම එලියට පැමිණ බංගලාවේ දකුණු පැත්ත බැලුවෙමි. එහි වූ කුඩා සදළුතලයේ සිට ඈ අත වැනුවාය. මමත් වට පිට බලා කවුරුත් පෙනෙන්නට නැති නිසා අත වැනුවෙමි.

එදා රෑ අප අළුයම වනතුරුම පණිවිඩ හුවමාරු කරගත්තෙමු. අවසානයේදී ඇයට ඉබේම නින්ද යන්නට ඇතිය.ඇය අද දිනයේ මා හට ඇදුම් අරගෙනත් තිබේ. මා හට ඇය පිලිබඳ සියුම් කණගාටුවක්ද පැමිණේ. නමුත් ඉවසිය යුතු බව මා මේ අවුරුදු කිහිපයේ හොඳින්ම උගත් දෙයකි. එම නිසා සියල්ල ඉවසීමට හුරු වුණෙමි. ටික වෙලාවක් යනතුරුත් ඇගෙන් පිළිතුරක් නොමැති නිසා මමද පුටුවට බර වුණෙමි.

0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved