Must Read

Monday, July 11, 2016

"නිර්මාල්" ...The Story of a Boy… 1

****************************උපුටා ගැනීමෙන් වලකින්න*********************************

ඔහු කඩවසම් තරුණයෙකි.. උරුමය පොහොසතෙක් වන්නට වුවත් දෛවය ඔහුව මෙහෙ කාරයෙක් බවට පත් කොට ඇත. නමුත් තම උරුමය සෙවීම ඔහුගේ යටි හිත තුළ නළියයි.. ඒත් දෛවය ඊට භාදක රැසක් පමුණුවයි. ඔහු සටන් කරන්නේ ඔහුගේ උරුමය වෙනුවෙනි. තවත් පැත්තකින් ඔහුට ආදරණිය සහකාරියකගේ නොමද උණුසුම ලැබේ. වගකීම්, ආදරය, සහ උරුමය... මේ සියල්ල රැක ගැනීමට ඔහුට හැකිවේවිද...




මේ ඔහුගේ කතාවයි.. අද පටන් කොටස් වශයෙන් දිගහැරෙන්නේ .......





"නිර්මාල්"
..The Story of a Boy…

.......................................................................................................................................................................

1
"ලොකු නෝනා... කවුද මහත්තයෙක් ඇවිත්" සුමනා අම්මා බොහොම යටහත් පහත්ව සමරවික්‍රම ලොකු නෝනාට කීවාය.

"කවුරු කියලද කිව්වේ..."

"මට හේතුවක් නම් කිව්වේ නැනේ නෝනේ..."

"උබටත් ඉතින් මනුස්සයෙක් ආවම මොකටද කියලවත් අහන්න බෑ... පලයන් ඉතින් පොඩ්ඩක් ඉන්න කියාපන් එළියෙන්. උබටත් ඉතින් ඔක්කොම ඇගිල්ලෙන් ඇනලාම කියන්න ඕනේ සුමනා.." සමරවික්‍රම නෝනා  දෙහි කපන්නට විය.

"අනේ සමාවෙන්න නෝනේ..."

"හරි හරි උබේ සමාවෙන් මට වැඩක් නෑ ... ගිහින් කියපන් ඉතින් දැන් එලියට වෙලා පොඩඩක් ඉන්නයි කියලා..." " අනේ ඇත්තට ලොකු පුතාත් ගියානේ උදෙන්ම.. ලේලිත් ගියා උඩ දාගෙන ලෑස්ති වෙලා .. මුන් ඔක්කොම ගැන මන්ම බලන්න ඕනේ.. මොකාද දන් නෑ ඒ පාර කාඩාපත් වුණේ .." සමරවික්‍රම ලොකු නෝනා ඇයටම කියන්නට විය .

ඒ මා පැමිණි මුල්ම දිනයේ ලොකු නෝනාගේ ප්‍රතිචාරයය. ඇය මුල් දිනයේ මා පිළිගත් ආකාරය මට තවමත් මතකය.
සමරවික්‍රම ලොකු නෝනා දැන් වයසය.. පාරම්පරික ඔසරිය ඇගේ ඇදුමය. ගෙදරට මගුලට මරණෙට ඔය සේරෝටම අදින්නේ ඔසරියය.. දණිස් අමාරුවෙන් පිඩා වින්දත් ඉහින් බහින වෙනත් රෝගයක් නම් ඇයට නැත්තේය.

සැමියා නැති වැන්දබුවක් වන ඇය කුරුණෑගල පාරම්පරික වලව් පෙළපතකින් පැවත එන්නියකි. ඇගේ සැමියාත් බොහොම උසස් වළව් පැලැන්තියක පුරුකක් බව මට පැවසුවේ සුමනා අම්මාය... ඔහු මියගියේ දියවැඩියාව වැඩි වී බවද මම පසුව දැනගත්තෙමි..

ඔවුන්ගේ එකම පුත්‍ර රත්නය ගජබාහු සමරවික්රමයි.. පාරම්පරික දේපොළ සියල්ලටම හා  ඔවුන් හරිහම්බ කල සියලුම දේපල වල තනි අයිතිකරු වුයේ ගජබාහු සමරවික්‍රමයි... කුඩා කළ සිටම අතට පයට සියලුම දේ ලැබුන කෙනෙක් වුනු නිසාමදෝ ඔහුට අන් අය ගැනනම් කිසිදු අනුකම්පාවක් නොවුන බව සියල්ලන්ගේම මතයයි... ඒ වගේම කොපමණ දේපොළ තිබුනත් ලෝබ කමේ අඩුවකු ද නොවිය.. කොපමණ හම්බ කළත් කෙසේ හෝ තව තව මුදල් පස්සෙම යයි.. මොහු මසුරු සිටාණ කෙනෙකුට කදිම නිදසුනක් බව පවසන්නේ සුමනා අම්මාය.. ඔහුගේ පියා මිය යාමට පෙර පුංචි මහත්තයා යැයි ඔහුට පැවසුවත් පියාගේ භාවයෙන් පසු ඔහු බංගලාවේ ලොකු මහත්තයා වූ බව මම පසුව දැන ගත්තෙමි.

ඔහු විවහා වී ඇත්තේද තමන්ගේ දේපොළ ප්‍රමාණය දෙගුණ කරගත හැකි බොහෝ වත්පොහොසත් කමින් යුත් කුලවත් කතක් සමගින්ය.. ඇය නමින් සුමිත්‍රා ලියනආරච්චි විය. කසාදයෙන් පසු ඇය සුමිත්‍රා සමරවික්‍රම වූ බව පැවසුවේ සුමනා අම්මාය. ඇය තරමක් උඩගු වූත් ගජබාහු තරම්ම ලෝබකම් නපුරු කම් ඇති තැනැත්තියක් වුවාය. ඔවුන් දෙපොළට එක් පුතෙක් සහ එක් දුවෙක් විය. පුතාටනම් තාත්තාගේ ගති හොදින්ම පැමිණ ඇති බව ප්‍රසිද්ධ රහසකි. දුව තවම මා දැක නැත...මන්ද යත් ඇය තවම ඉගෙනගන්නා බැවිනි.. ඇය එංගලන්තයේ ඉගෙනුම ලබන බව සුමනා අම්මා මට කීවාය.

"ලොකු මහත්තයා එනකම් පොඩඩක් ඉන්නයිලු මහත්තයෝ ..."

"හොදමයි නෝනා..."

"මම නෝනෙක් නෙමෙයි මහත්තයෝ...මන් මේ ගෙදර කුස්සි අම්මා"

"ආ... අම්මේ ඒකට කමක් නෑ අම්මත් මටනම් නෝනා කෙනෙක් තමයි... මේ තරම් ලොකු මාලිගාවක කුස්සි අම්මා කියන්නෙත් ලොකු රස්සාවක්නේ අම්මේ..."

"හා...හා... මහත්තයෝ.. මහත්තයා තමයි මට නෝනා කිව්වේ මුලින්ම.... මහත්තයා මොනවටද මෙහෙ ආවේ..අර ඉන්ශූරංස් කියන්නේ අන්න ඒකක්වත් කොරන්නද ..."

"පත්තරේ වැඩට කෙනෙක් හොයලා තියනවා අම්මේ....  එකයි මන් මේ ආවේ.. "

"අපේ අප්පේ මහත්තයෝ මහත්තයාට මන් එකක් කියන්නම්... "

"මොකක් මොන එකක්ද.... කියාපන් බලන්න මටත් ඇහෙන්න.."
ඒ ලොකු නෝනාගෙ හඩය .. කුස්සි අම්මා උඩ ගොස් බිම වැටුනාය..

"අනේ සමාවෙන්න ලොකු නෝනේ මන් මේ කියන්න හැදුවේ මේ පෑවිල්ල ගැන .. "

"උබටත් ඉතින් ඕනේ තරම් නිදහසට කාරණා තියනවා... පලයන් අන්න අර කුස්සියට හොද්දත් කර වෙනවද කොහෙද... උබටත් ඉතින් ඕපාදුපයක් නම් ඉන්න තැනත් මතක නෑ ..."

"හොදමයි ලොකු නෝනේ..." බොහොම යටහත් පහත්ව දෙඅත් එකතු කර වදිමින් ඇය පිටව ගියාය.

ලොකු නෝනා ඉදිරියේ මම පෙනී සිටියෙමි.පෙනුමට මගේ වයස අවුරුදු  21 ක් පමණයි  බව මගේ අම්මා නිතර පවසයි. නමුත් මා මෙහෙට එනවිට මට වයස අවුරුදු 23කි. මගේ සම තලෙලුය. උසය . ඉරි වැටුන කමිසය  ඇද කළු කලිසමට යට කර මම පැමිණියෙමි. ආ පළමු දිනයේ පෙනුමට අව පැහැ ගිය ඇදුමක් හැද උන්නත් තරමක් වැදගත් පෙනුමක් මා සතු වූ බව පසුව සුමනා කුස්සි අම්මා පැවසුවාය.... ඒ මගේ පැටිකිරියය. පළමු දිනයේදී ලොකු නෝනා මගේ උඩ සිට පහළටත් පහල සිට උඩටත් බලන්න විය... ඇගේ තියුණු බැල්ම මා විනිවිද ගිය ආකාරය මට තවමත් සිහිපත් වේ.



"උබ මොකටද දැන් මෙහෙ ආවේ... ඔන්න ඉන්ශුරන්ස් නම් බෑ පුතෝ යන්න පුළුවන් එහෙම එකක් නම්...උදේ ඉදන් රෑ වෙනකම් ඉන්ශුරන්ස් කාරයෝ අපේ වැඩක් කරගන්න නෑ මොන කරදරයක්ද මන්දා"

සුමනා කුස්සි අම්මා ඇසු දේම ලොකු නෝනාත් මගෙන් අසයි.. මගේ පපුව ගැහේ.. නමුත් හිතට විරිය ගනිමින් මම කතා කරන්නට විය.

"පත්තරේ දාලා තිබුන දැන්වීමටයි ආවේ මැඩම්..." බොහොම යටහත් පහත්ව මම පැවසුවෙමි.

"ආ උබ ආවේ එකටද... මෙහෙ වරෙන් පිටි පස්සෙන් එහෙනම්... "
"හොදමයි මැඩම් "
"මට ලොකු නෝනා කියාපන් මැඩම් කියනවට මං කැමති නෑ... හා වරෙන් දැන්"
ගෙයි පැත්තකට වන්නට වූ කුඩා ඔෆීස් කාමරයකට ඈ මා එක්ක ගියාය.

"මොකද්ද නම..."

"නිර්මාල් නෝනා"

"නිර්මාල් නෝනා. ඒ මොන නමක්ද බන්.. සම්පුර්ණ නම මොකද්ද කියපන්.."

"සමරතුංග ආරච්චිගේ දොන් නිර්මාල් ධනංජය"

සෙමෙන් බෝතල් අඩි කණ්නාඩි දෙක පහතට හෙලමින් කණ්නාඩියට උඩින් ඇය නැවත  මා දෙස බලන්නට විය.

"සමරතුංග කෙනෙක් මොකද වැඩකාරකම් කරන්න ආවේ..."

මගේ මුණ රතු වූ බව මටම තේරුණි. මන්දයත් කුඩා කාලයේ සිටම සුළු දෙයකට වුවත් මගේ මුහුණ රතු වන බව සියලු දෙනා පවසයි.. මම සෙමෙන් බිම බලා ගත්තෙමි.

"කියපන් බලන්න උබේ විස්තර ටිකක්... අම්මා තාත්තා මොකද කරන්නේ... "

"මැඩම් සමාවෙන්න මගේ තාත්තා ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වුණා. මම ස්කෝලේ යන කාලේදී. ඊට පස්සේ ඉගෙනගන්න හරියකට බැරි වුණා ලොකු නෝනා. ඕලෙවල් විභාගේ වෙනකම් ඉගෙනගත්තට විභාගේ ලියාගන්න බැරි වුණා.” මා පැවසුවේ බොරුවකි. නමුත් මා හට එසේ පවසන්නට සිදු විය. නැතහොත් මා හට රැකියාව නොලැබෙනු ඇත. එම නිසා බොරුවක් ගෙතුවෙමි.

"පොඩඩක් හිටපන්... උබට මේ රස්සාව හරියනෑ පුතෝ... සමරතුංගලාට මේ වැඩ හරියන් නෑ. උබට කියන හැම වැඩේම කරන්න වෙනවා.අනික ඔය විභාග කරන්න ඉගෙන ගත්ත එවුන් අපිට වැඩක් නෑ. අපි හොයන එකාට පොඩ්ඩක් අකුරු සාස්තරේ පුළුවන් උනාම ඇති.."

නමුත් මා හට මේ රැකියාව අවශ්‍යම විය. මම ඇයට පෙරැත්ත කෙරුවෙමි.
"අනේ නෝනා මන් ඕනේ වැඩක් කරන්නම්... මට ඕනේ වැඩක් පුළුවන් නෝනා "

“හරි හරි ඔය අඩා වැඩියාව නවත්තපන්කෝ කියාපන් බලන්න විස්තර ටික.."

"බොහොම ස්තුති නෝනා... මට ගෙදර වැඩ පළත් ඕනේ එකක් පුළුවන් නෝනා... මන් පවුලේ වැඩිමලා. ගෙදර ප්‍රශ්නත් එක්ක මට ආපහු ඉගෙන ගන්න පුළුවන් කමක් තිබුණ නෑ. ඊට පස්සේ මන් රස්සා කීපයක් කරා. තාත්තා නැති වුනාට පස්සේ අම්මටත් ටිකක් අසනීපයි නෝනා. නංගි මල්ලි ඉගෙනගන්නවා. ඒ දෙන්නට උගන්නන්නයි ගෙවල් කුලියයි ගෙදර වියදමුයි ඒ ඔක්කොම දහ පාළොස් දාහක පඩියකට කරන්න බෑ නෝනා. එකයි මේ පත්තරේ තිස්දාහකට වැඩි වැටුපක් කියලා දාලා තියන නිසා මන් ආවේ.."

ඈ බර කල්පනාවකය. ටික වෙලාවක් කල්පනා කොට ඈ කතා කරන්නට විය.

"හොදයි හොදයි. මන් උබව රෙකමන්ඩ් කරන්නම් පුතාට. උබ පුතා කියන දේකට ඔලුව වනාපන්. ඔන්න උබ සමරතුංග කෙනෙක් නිසා උබට මේ රස්සාව මම දෙන්නේ. අන්න ඒකත් මතක තියාගනින්...අනික ඔය සමරතුංග හෑලි බෑලි හැමෝටම කියන්න ඕනේ නෑ. උබලා ලොකු කුල වල ඉපදිලා දැන් වැඩකාරකම් කරන්න එනවා. එව්වා හැමතැනම කියෝලා අන්තිමට අපිට තියෙන වැදගත් කමක් නැති වෙනවා.තුක් නොදකින්.. උබලව ජාතක කරපු උන්ගේ වැරදි ඕවා. උන් දැනගන්න ඕනේ හම්බ කරන්න. මිට පස්සේ උබ ඕනේ එකෙක්ට නම විතරක් කියහන්.."

අම්මාට තාත්තාට එසේ පැවසීම වේදනාවකි.එත් මොනවා කරන්නද හැම දේම ඉවසිය යුතු බවට මම අදිටත් කරගත්තෙමි.

"හොදමයි ලොකු නෝනා... බොහොම ස්තුති..."

"හැබැයි උබට මන් එකක් කියන්නම් කොල්ලෝ... හොදින් කතා කරා කියලා කරේ එහෙම නගින්න ලැස්ති වෙන්න එපා ඔන්න... පලයන් දැන් උබට මන් තව වැඩක් දෙනවා උබට පඩි නේ ඕනේ තව කියක් හරි හොයාගත්තැකි... උබ රෑට ගෙදරත් මුර කරන්නට ඕනේ... කැමතිද උබ ..."

රෑට මුරකරන මුරකාරයාට වැඩි පුර ගෙවිය යුතුය. එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගන්නා අදහසින් ඇය එයත් මටම පැවරු බවට පසුව සුමනා කුස්සි අම්මා දොස් කීවාය.නමුත් මා හට උවමනා මේ රැකියාවයි. මා මෙහි පැමිණියේද ඕනෑම දෙයකට මුහුණ දෙන්නට බලාගෙනයි. ඉතින් මට ඔය කෝකත් එකය.

"එහෙමයි ලොකු නෝනා මන් කරන්නම්"

"දැන් පලයන් ගිහින් අන්න අර බිලිං ගහ අයිනේ තියෙන කාමර පේලියෙන් තුන්වෙනි එකේ උබේ බඩු ටික තියලා වෙන ඇදුමක් ඇදන් වරෙන්..."

ඒ එක්කම වාහනයක හෝන් හඩක් ඇසෙන්නට විය.

"අන්න පුතා ඇවිත්... පලයන් ගිහින් ගේට්ටුව ඇරහන් "

"හොදමයි ලොකු නෝනා"
මම ඉක්මනින් දුව ගොස් ගේට්ටුව හැරියෙමි. ලොකු මහත්තයා මා දෙස බැලුවේ යකෙකු දෙස බලන ලිලාවකිනි.

"කවුද අම්මා අරු ... "

ගජබාහු ලොකු මහත්තයා තම අම්මා නොහොත් සමරවික්‍රම ලොකු නෝනාගෙන් අසන්නට විය.

"ඌ තමයි බන් අලුතින් ගෙදර වැඩට ගත්ත එකා. මු පත්තරේ දැන්වීමට ඇවිත් තියෙන්නේ මන් මුව ගත්තා "

"අම්මා මන් එනකම් වත් හිටියේ නැද්ද"

"ඇයි උබ හිතුවද මන් මේ රටේ ලෝකේ ගැන දන් නෑ කියලා. උබට කලින් මන් මිනිස්සු එක්ක ගනුදෙනු කළේ.."
ලොකු නෝනා තරමක් කේන්තියෙන් පවසන්නට විය.

"හරි හරි අම්මේ... එහෙම එකක් නෑ. මොකද්ද මුගේ නම.."

"නිර්මාල් කියන්නේ..."

"මුව හොදට දැකලා පුරුදු මුණක් මන් මේ කොහෙන්ද කියලා කල්පනා කරේ..." කනට වාහනයේ යතුර යවා කරකවමින් ලොකු මහත්තයා පවසන්නට විය...
මටද ලොකු මහත්තයාගේ මුහුණ හුරු පුරුදුය. නමුත් මම කට ඉස්සර කර නොගත්තෙමි.

"මුව කොහෙන් දකින්න්නද බන් උබ... මෙන්න මුට කරන්න තියන වැඩ ටික ලියලා දීපන්...” නැවතත් මා දෙස බැලු ලොකු නෝනා...
“හ්ම්..හ්ම් .. දැන් උබ පලයන් කුස්සියට ගිහින් සුමනාගෙන් තෙකක් ඉල්ලන් බීපන්.."

ලොකු මහත්තයාගේ තියුණු බැල්ම මා දෙසට එල්ල වන්නට විය.. මම  සෙමෙන් හිස පහත් කර බයාදු ලීලාවෙන් කුස්සිය පැත්තට ගියෙමි.


"පුතේ... උබ කලබල නොවී හිටහන් අපිට මුගෙන් දෙතුන් දෙනෙක්ගේ වැඩ කරගත්තැකි උබ දන් නෑ මේ අම්මා වාසියක් නැත්නම් නිකන්ම කොල්ලෙක් වැඩට ගන් නෑ... අනික මුගේ කුලේ හොදයි. අපේ කුලේ එකෙක්. කවදාවත් වංචාවක් කරන් නෑ.අපේ කුලේ එවුන්."
 ලොකු නෝනා ලොකු මහත්තයාට පවසනවා මට ඇසුනි. නමුත් මට ඕවයින් වැඩක් නැත. මට අවැසි මෙහි රැකියාව පමණි. කෙසේ හෝ මගේ පවුල ගොඩ දැමීම මගේ අරමුණයි. නැතිවූ තාත්තාගේ උරුමය නංගිට මල්ලිට සොයා දීම මගේ අරමුණයි. මා කෙසේ හෝ එය ජයගන්නෙමි. එය කළ පසු මගේ රාජකාරිය අවසානය.

"හාහ් හඃ හා... මන් දන් නැද්ද... මයේ අම්මා ගැන... ඔය කුල භේද දැන් නෑ අම්මා "
ගජබාහු ලොකු මහත්තයා මහා හඩින් හිනා වෙමින් තම අම්මා බදාගන්නට විය...

"උබට නැති උනාට ඕවා තියනවා තාම. උබ දන්නා කෙහෙල් මල.පලයන් අහකට... නාකි හුරතල් ..."
ඇය ඔහුව එලවන්නට විය..

"කෝ උබේ නෝනා..."

"එයා එයි අම්මා....  ඔය ගියෙ නැන්දම්මාගේ ගෙවැල් පැත්තේ මන් එන ගමන් බස්සන් ආවේ...හවස් වෙලා වාහනයක් යවන්න ඕනේ... මන් වොෂ් එකක් දාන් එන්නම්.."

"හ්ම්.... හොදයි හොදයි...උබ ඉතින් ඒකිගේ පදේට නටන එකානේ..."
ඔවුන්ගේ කතාබහින් මට පලක් නැත. මා අඩිය ඉක්මන් කොට කුස්සිය පැත්තට පැමිණියෙමි.

0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved