Must Read

Tuesday, July 26, 2016

"නිර්මාල්"... THE STORY OF A BOY - 06

****************************උපුටා ගැනීමෙන් වලකින්න*********************************

ඔහු කඩවසම් තරුණයෙකි.. උරුමය පොහොසතෙක් වන්නට වුවත් දෛවය ඔහුව මෙහෙ කාරයෙක් බවට පත් කොට ඇත. නමුත් තම උරුමය සෙවීම ඔහුගේ යටි හිත තුළ නළියයි.. ඒත් දෛවය ඊට භාදක රැසක් පමුණුවයි. ඔහු සටන් කරන්නේ ඔහුගේ උරුමය වෙනුවෙනි. තවත් පැත්තකින් ඔහුට ආදරණිය සහකාරියකගේ නොමද උණුසුම ලැබේ. වගකීම්, ආදරය, සහ උරුමය... මේ සියල්ල රැක ගැනීමට ඔහුට හැකිවේවිද...





මේ ඔහුගේ කතාවයි.. අද පටන් කොටස් වශයෙන් දිගහැරෙන්නේ .......





"නිර්මාල්"
..The Story of a Boy…

.......................................................................................................................................................................

                                                                  6

කාළය ගෙවී යන්නේ ඉතා වේගයෙනි. මා මෙහි පැමිණ අදට හරියටම සතියකි. ගෙවූ කාළය තුළ ජිවිතයේ කටුක බව අන් හැම දාකටම වඩා හොදින් අවබෝද කරගැනීමට හැකි වූ බවනම් නොරහසකි. නිදි මරන්නට දැන් නම් හොදින් හුරුය. මේ විදියට ස්කොලේ යන කාලේ නිදි මරුවානම් මිට වඩා හොද ප්‍රතිපල විභාග වලින් ගන්නට තිබු බවද විටක සිතේ.. ඕනෙම දෙයක් සතියක් කට්ට කෑවොත් පුළුවන් වෙනවා කියලා විශ්වාස කිරීම තාත්තගේ මතයකි. එය කුඩා කාලයේ නොපිළිගත්තත් දැන් නම් එය සැබෑවක් බව හොදින් වැටහේ. හාල් ගෝනි එසවිමද දැන් එදිනෙදා කර්ත්වයක් වී තිබේ.එය නම් මුල සිටම මා හට එතරම් අපහසු වුයේ නැත. බල්ලන් සතර දෙනාද දැන් ටික ටික මා සමග මිතුරුය.

අද මෙහි බොහෝ කලබලය. ඊට හේතුව නම් බොහෝ කලක් රට සිටි ඔවුන්ගේ එකම දියණිය හෙට ලංකාවට පැමිණීම කල් ගිය බැවිනි. ඊයේ රාත්‍රියේ ඇය පවසා ඇත්තේ ඇගේ හොදම මිතුරියක් වාහන අනතුරකට පත්ව ඇති නිසා ලංකාවට පැමිණීම තරමක් ප්‍රමාද කිරීමට සිදුවූ වගයි.ඇයට එවැනි වෙලාවක ඇය තනිකර පැමිණීමට නොහැකි නිසා ගමන පැමිණීම කල් දමන බව ඇය පවසා ඇත. සුමනා අම්මා නම් පැවසුවේ තව මාස දෙකකින් ඇය පැමිණෙන බව මැඩම් ට පවසා ඇති බවයි. කොහොම නමුත් සියලු දෙනාම බලාපොරොත්තු නොවූ ආකාරයට ඇයගේ පැමිණීම කල් යෑම පිළිබද සියලු දෙනාගේම මුහුණු වල තරමක් නොරිස්සුම් සොභාවයක් තිබුණි. ඔවුන්ගේ චින්තනය කුමක් වුවත් මට හිමි මගේ රාජකාරි ටික මා කළ යුතුව තිබුණි.
මගේ මිතුරිය නම් දැන් ලංකාවට පැමිණෙන්නට ඇති යැයි මට සිතුණි. ඇය පැමිණිලා නම් නිසැකවම මා හට දුරකථන ඇමතුමක් ගන්නට ඇත. එත් මගේ අංකය භාවිතයේ නොමැති බව පැවසීම නිසා ඇයගේ සිත අමනාප වන්නට ඇත. ඇය නැවත මා හට කිසිම දිනක හමු නොවේවා...කියා මම ප්‍රර්ථනා කරමි. මන්ද යත් ඇයට මුහුණ දීමට තරම් ධෛර්යක් මා සතුව නොමැත. ඇය ඇගේ ලෝකයේ තටු සලනු ඇත. නමුත් මා තටු කපා දැමු කුරුල්ලෙකි. ඇයව මා අමතක කළ යුතුය. මගේ සිතේ ඇති හැගීම් මගේ සිත තුලම වළලා දැමිය යුතුය...

“නිර්...මා...ල්...  මෙහෙ වර ඉක්මනට..” ලොකු නෝනාගේ හඩින් මම නැවත පියවි ලෝකයට පැමිණියෙමි.
“මේ එනවා නෝනා...”
“යමු මාත් එක්ක ගමනක්.. වරෙන් ඉක්මනට ඇදුමක් ඇදන්...” 
“හොදයි නෝනා..”
ඇගේ පැරණි බෙන්ස් රථය නැවත වාරයක් පැදවීමට අවස්තාවක් ලැබී තිබේ..
මම ඇයට දොර හැර දුන්නෙමි.
“යමු ගිය සතියේ ගිය පන්සලට..”
“හොදයි ලොකු නෝනා..” වාසනාවකට ගිය පාරවල් සියල්ල එක වරක් ගිය පමණින් මගේ මතකයේ රැදෙයි. නැතිනම් පාර මතක නැතුවාට ලොකු නෝනාගෙන් බැනුම් ඇසීමට සිදුවනු නොඅනුමානයි.
වැලි පාර දිගේ ගොස් පන්සලේ ගේට්ටුව තුලින් වාහනය පන්සල තුලට ගත්තෙමි. ලොකු නෝනා මා දොර හැරීමටත් කලින් දොර තමන්ම හැර ගෙන වහනයෙන්  බැස අවාස ගෙය දෙසට ගියේ ඉතා ඉක්මනිනි..
“මන් හිතන්නේ බේබි නාව නිසා වෙන්න ඇති..” මම අනුමාන කළෙමි.
අද එදා සිටි වයසක මාමා පෙනෙන්නට නැතිය. පන්සල තුලද විපරම් කර බැලුවත් ඔහු පෙනෙන්නට නැතිය. වාහනයට හේත්තු වී අහස දෙස බැලුවෙමි. අහස ලා නිල පැහැතිය. වලාකුලක් හෝ අහසේ නැත.
කවරදාකවත් නොදැනුන පාළුවක් සිතට දැනුනි. දැන් පැමිණ පැයක් පමණ ගත වී ඇත. ලොකු නෝනා අද ඉක්මනින් පැමිණේ.
“යමන් ගෙදර..”
ඇය නැවතත් සන්සුන් වී ඇත. ගිය කලබලය ඇගේ මුහුණෙන් නොපෙනුණි.
“බලපංකො පන්සලේ ඇබිත්ත්යා නැති වේලානේ ගිය සතියේ..”
“ඒ කවද්ද ලොකු නෝනා..”
“අපි මෙහෙ ආවේ එදාට පහුවදා..”
“ඒ මොනවා වෙලාද ලොකු නෝනා”
“පපුවේ අමාරුවක්ලු.. උබටත් ඉතින් ඕනේ නැති ඕපාදුපයක් නෑ. ඔය වාහනයක් එනවා ඉස්සරහින් පරිස්සමෙන් එලවපන්..”
හිතට කියා ගත නොහැකි දුකක් දැනුණි.ජිවිතේ හැටි.. පෙරදා මා හට ඉතා කරුණාවෙන් සලකපු කෙනා අද මේ ලෝකයෙන්ම ගිහින්.. කියා ගත නොහැකි මොකක්දෝ අවුලක් සිතේ නලියන්නට විය.
නොදැනීම නිවසට පැමිණ තිබුණි. ලොකු මහත්තයා ගෙයි ඉස්තොප්පුවේය. වාහනය නවතා ලොකු නෝනාට දොර හැර දුන්නෙමි..

“මොකෝ අම්මා හාමුදුරුවෝ කියන්නේ ”
“බය වෙන්න දෙයක් නෑ පුතේ.. අපලයක් මුකුත් නෑ. ඊලග පාර නම් අනිවාර්යෙන්ම එනවා කිව්වා..”
“එකනේ අම්මේ මම කිව්වේ බය වෙන්න දෙයක් නෑ කියලා..”
“හ්ම්.. උබ ඉතින් ඔක්කොම දන්නවනේ..”

සමරවික්‍රම පවුල මුදලට කොපමණ ගිජු වුවත් ප්‍රීතිමත් පවුලක් යැයි මේ ටික දවසට මට සිතුන වාර ගණන අතේ ඇගිලි ගණනට වැඩිය. නමුත් අන් අය ගැන නම් එතරම් තැකීමක් නොමැති බවද හොදින්ම වැටහුණි.
මම කුස්සිය පැත්තට ගියෙමි. සුමනා අම්මා බදා ගෙන තන්ගච්චි හඩයි.
“මේ මොකද සුමනා අම්මේ.. තන්ගච්චිට මොකද වෙලා තියෙන්නේ.”
“අනේ බලපන් කොලුවෝ අර ලොකු බේබි කියන වසවර්තියා කරලා තියන වඩේ...”
“ඒ මොකක්ද සුමනා අම්මේ මොකද වෙලා තියෙන්නේ..”
“මේකි ඒ වසවර්තියාට තේක දෙන්න ගිය වෙලාවේ මේකිව බදාගෙන... මේකිට දසවද දීලා බන්. කෑ ගහන්න හැදුවම කට තද කරලා. මරනවා කියලා බය කරලා ”
“මොකක් මේ පාන්දර.. යමු ගිහින් ලොකු මහත්තයාට කියමු..” මම ලොකු මහත්තයා හමු වීමට යාමට සැරසුණි.
“ඔහොම හිටපන්.. පාන්දර නෙමේ බන් ඊයේ රෑ. මහා රෑ බේබි තේකක් ඉල්ලුවා.මන් මේකිව යැව්වා බන් තේක දීලා. මගේ දණිස් අමාරුවත් එක්ක උඩ තට්ටුවට නගින්න අමාරු නිසා බන් මෙකි අතේ යැව්වේ... මගේ වැරැද්ද..” සුමනා අම්මාද වැලපේ.

“සුමනා අම්මේ මේක ගැන ලොකු මහත්තයාට කියමු. යමු.”
“පිස්සුද උබට. උන්ට කිව්වට වැඩක් නෑ . මේකිව මරලා දායි උන්. ඔය වසවර්තියා අනාත කරපු පලවෙනි කෙල්ල නෙමේ මේ. කලින් හිටපු කෙල්ලවත් ඔය මිහිහා කෝටු මස් කරා. අන්තිමට ඒකි බඩදරු වුණා. මහ එවුන් මොකද කරේ වැඩ කරන කොල්ලෙකුට ඒකිව බන්දලා දුන්නා සල්ලිත් දීලා. ”

මා මේ සිටින්නේ මොන අපායකදැයි මට සිතුණි. හරියට මෙය දෙමළ චිත්‍ර පටියක් මෙනි.සැබෑ ජිවිතයේ මෙවැනි තිරිසන්නු සිටීද කියාද අදහාගත නොහැකිය.

“දැන් මොකද කරන්නේ සුමනා අම්මේ ඉතින්.. මට තේරෙන් නෑ. මට පිස්සු වගේ දැන් නම්.”

“මොනවා කරන්නද බන් දුප්පත් අපිට කොරන්න දෙයක් නෑ. කරබාගෙන ඉන්නවා ඇරෙන්න.”

“එතකොට මේ කෙල්ලට මොකද වෙන්නේ අම්මේ..”

“ඒක තමයි බන් මාත් මේ කල්පනා කරේ.හ්ම්ම්ම්...” ඇය හුල්ලයි. තන්ගච්චි තවම වැලපේ.

“තන්ගච්චි කාලයට ඉඩ දෙමු.. දැන් අඩන් නැතුව ඉන්න. මන් තන්ගච්චිට සාධාරණේ ඉෂ්ට කරනවා. අන්නව විශ්වාස කරන්න.” මම ඇයට කිවේ අවංක හැගීමෙනි. හමු වී ටික දවසක් වුවත් ඇය මට සහෝදරියක් මෙනි. ඉතින් ඇයට මේ වුන දේ මා හට සැබෑවටම වේදනාවකි. ඇය තවමත් හඩයි.

“දැන් ඉතින් වුන දේ වුණා බන්. නාඩා හිටින්...”
සුමනා අම්මා ඇය සැනසීමට බොහෝ වෙහෙසේ..
“කොල්ලෝ නිර්මාල් ..... මෙහෙ වරෙන් ඉක්මනට” ඒ ලොකු නෝනාය.
“මේ එනවා ලොකු නෝනා.” මම කෑ ගෑවෙමි.
“මන් ගිහින් එන්නම් සුමනා අම්මේ..තන්ගච්චි දැන් ඉතින් අඩන්න එක නවත්තන්න.” ඇයට අප කියන දේ හෝ ඇසෙන්නේ නැති බව මට තේරුණි. පිස්සුවෙන් මෙන් ඈ හඩයි.මා කියා කුමක් කරන්නද... මම සෙමින් ලොකු නෝනා සිටි දිසාවට පිය මැන්නෙමි.
“ලොකු නෝනා මන් ආවා..”
“පලයන් ගිහින් අර හාල් ගබඩාවේ උන්ට පොඩ්ඩක් උදව් කරහන්. අද උන්ගේ කීපදෙනෙක්ම නෑ. ”
“හොදමයි ලොකු නෝනා...”
මම හාල් පැටවීමට ගියෙමි. අද එහි ඇත්තේ සේවකයන් දෙදෙනෙක් පමණි. හෙට දිනයේ පෝය නිසා අනිත් උන් අදම නිවාඩු ගොස්ය. සිටිනා දෙදෙනාත් සමග මම හාල් ගෝනි ලොරි වලට පැටෙව්වෙමි. අද වෙනදාට වඩා වැඩය. පැය තුනක් පමණ හාල් ගෝනි පැටවීමට ගතවුණි. සේවකයන් අඩු නිසා අද වැඩි කාලයක් ගතවුණි. වැඩේ අවසන් වූ වහාම මා පය ඉක්මන් කර කුස්සිය පැත්තට යාමට සැරසුණි.. මන්ද යත් තන්ගච්චි සිහිවූ බැවිනි.
“අනේ ලොකු නෝනා................. ලොකු නෝනා මහත්තයා......” සුමනා අම්මා මරලතෝනි දෙන හඩ ඇසි මම කුස්සිය පැත්තට දිව්වෙමි.. මා එන විට ලොකු නෝනත් මහත්තයාත් තවත් සේවසකයන් පිරිසකුත් පිළිකන්නේ තිබු අඹ ගස වට කරගෙනය.
ඔවුන් අතරින් මම ඉදිරියට අදුනෙමි..
“තන්ගච්චි....” මගේ දෑස් ඉදිරිපිට තන්ගච්චිය. එත් ඇය.... අඹ ගසේ එල්ලිගෙනය.
“මේ මොනවද කෙල්ලේ කරගත්තේ..” මම ඇයගෙන් ඇසුවෙමි. නමුත් ඇය නිශ්ශබ්දය.
“සුමනා අම්මේ මේ මොකද වුණේ?”
“අනේ බලපං කොල්ලෝ මන් හාල් ටිකක් කොටාගන්න කියලා මේ අල්ලපු වැටේ මෝලට ගිය ටිකට මේකි කරගෙන තියන් දේ. මන් එනකොට මෙකි දගලනවා ගහේ. මන් කෑ ගහගෙන එනකොටම ඒකිගේ පණ ගියා කොල්ලෝ මගේ ඇස් ඉස්සරහම.” ඇය හූල්ලයි.
“හ්ම් දැන් කවුරුවත් කලබල වෙන්න ඕනේ නෑ. නිමලේ මේකිව බාපන් ගහෙන්. කාලකන්ණි ගෑණු මේක අස්සෙම මේවා කරගන්නවා.” ලොකු මහත්තයා හඩ අවදි කළේය.
“සුමනා බලහන්..මේකිගේ බඩු තියන තැනට ගිහින් මේකි ලියුමක් මොකුත් ලියලා තියලද කියලා”
“එහෙමයි ලොකු මහත්තයා..” ඈ කදුළු පිසදාමින් කුස්සියටම යාබදව තිබු ඔවුන් දෙන්නා සිටි කාමරට ගියාය.
“ලොකු මහත්තයා... ලොකු බේබි..!!”
“කට.. ඇයි මොකද්ද ලොකු බේබි..... උබෙන් මොකුත් ඇහුවේ නෑනේ. කටවහගෙන හිටපන්.” ලොකු මහත්තයාට ඇත්ත කීමට මට අවැසි විය. නමුත් මා කතාකරන්නට කලියෙන් ඔහු මගේ කට වසන්නට විය.

“මහත්තයෝ මේකි දෙමලෙන් මොනවාදෝ කුරුටු ගාලා. මට නම් මොකුත් තේරෙන් නෑ.”
“උබට ඉතින් දෙමළ තියා සිංහලවත් කියවන්න පුලුවන්ද මෙන්න මෙහාට දිහන් ඕක.. ” ලොකු නෝනා ඇගෙන් කඩදාසිය උදුරගත්තාය.
“අම්මා ඕවා වැඩක් නෑ. මේක ගොඩින් බේරමු. හා හා දැන් උබලා පලයල්ලා. මේ ගැන එකෙක් හරි කට හොල්ලලා තිබ්බොත් පවුල් පිටින් බාවනවා දැන ගනින්.නිර්මාල් උබයි නිමලෙයි හිටපන්.”
සැවොම නිහඩව විසිර යන්නට විය. ලොකු මහත්තයා කල්පනා කරයි. ටික වෙලාවක් කල්පනා කළ  ඔහු දුරකථනය ගෙන ඇමතුමක් ගත්තේය.
“හෙලෝ මිස්ට ගුණවර්ධන”
“ආ මේ අපේ සමරවික්‍රමනේ.. මොකද හදිස්සියේම.”
“පොඩි කෙස් එකක් ගුණේ.. පොඩඩක් මේ දැන්ම අපේ ගෙවල් පැත්තට එන්න පුලුවන්ද”
“රයිට්.. රයිට් මන් දැන්ම එන්නම් වික්‍රම..” ගුණවර්ධන යනු කවුරුන්දැයි මම දන්නේ නැත. නමුත් ඉහල පෙලේ කෙනෙක් නම් විය යුතුමය.
“නිර්මාල් කොල්ලෝ යමු ඇතුලට..”
ලොකු මහත්තයා මගේ කරට අතක් දා ගත්තේය.
“නිමලේ ඔය බොඩිය මුර කරපන්”  
“හොදමයි ලොකු මහත්තයා”
සිදුවන්නට යන්නේ කුමක්දැයි මට නොවැටහේ. නමුත් මම ඔහුත් සමගම ගෙතුලට ගියෙමි.
“අම්මා.. සුමිත්‍රා ඔය දෙන්නා ඇතුලට ගියානම් හොදයි...” ලොකු නෝනත් සුමිත්‍රා මැඩමුත් ගෙතුලට යන්නට විය. පුදුමය වෙනදාට ලොකු මහත්තයා සමග එකට එක කියාගෙන යන දෙන්නා අද බොහෝ නිහඩවම ගෙට විය.
“හ්ම් දැන් කියපන් බලන්න ඉස්සෙල්ලා අර මොකද්ද කියන්න හැදුවේ ”
“ලොකු බේබි තන්ගච්චිට කරදර කරලා මහත්තයා.. ඒකයි තන්ගච්චි ඔහොම කරගත්තේ.” ,මම නොසගවා ඔහුට සියල්ල කීවෙමි. ඉතා හොදින් සාවදානව ඔහු එයට කන් දෙන්නට විය.
“සුමිත්‍රා එන්න කියපන් අර ලොකු බේබි කියන එකාට ඌ මගේ පුතෙක්ද මේ වගේ තිරිසන් වැඩක් කළේ?”
ඔහුගේ හඩින් මුළු බංගලාවම දෙදරුම් කන්නට විය. ලොකු බේබි උඩුමහලේ සිට පහලට ආවේය.
“උබ අර කෙල්ලට මොනවහරි කළාද?”
“ඔව් තාත්තා.. එහෙම වුණා හිතලා කළේ නෑ. සොරි. අපහු එහෙම වෙන් නෑ..”
“දැක්කද කොල්ලෝ මගේ එකා මොනවා උනත් හොද එකා. ඌ වැරැද්ද පිළිගත්තා.දැන් උබ කියන්නේ සමරවික්‍රම පවුලේ එකම කොල්ලව හිරේ දාන්න කියලද කොහෙද යන කෙල්ලෙක් නිසා. කියපන් බලන්න.”
මේ මොකක්ද සිද්ධ වෙන්නේ.. විය යුතු දෙයින් නොවිය යුතු දේමයි හැම වෙලේම සිද්ධ වෙන්නේ. කෙල්ලෙක් නිරපරාදේ ජිවිතේ නැති කරන්. දැන් ඒ කෙල්ලටම වැරැද්ද දායිද.. මගේ හිත ගිනි පුපුරක් මෙන් පිච්චෙන්නට විය.
“සමාවෙන්න ලොකු මහත්තයා. මන් සිද්ධ වුන දේ කිව්වේ..”
“ආ... එහෙමද.. එහෙනම් මෙහෙම හිතා ගනින් එහෙම දෙයක් නොවුනා කියලා. උබ මේ ගැන කාට හරි කියලා තිබ්බොත් උබේ පවුල තියනවා නේද.. අම්මෙක් නංගියෙක් අක්කෙක් ඇති නේද.. අන්න උන්ට වන්දි ගෙවන්න වෙයි. ඒක මතක තියාගෙන දැන් මෙතනින් පලයන්...”
“ලොකු මහත්තයා..”
“ඇයි උබට දැන් මන් කිව්වා දේ තේරුනේ නැද්ද?”
“තේරුණා මහත්තයා..”
“එහෙනම් පලයන් ඉතින් දැන් තවත් පව් නොදී..” ඔහු වේගයෙන් පා පහරක් අසළ තිබු මල් පෝච්චියට ගැසුවේය.එය කුඩු කුඩා කැබලි වලට කුඩු වී ගියේය.
මා හට ඇය වෙනුවෙන් කරන්නට කිසිම දෙයක් නැති වූ බව වැටහුණි.දැන් මමද මෙහි හිර වූ බවනම් නොරහසකි.
ඒත් එක්කම ජීප් රියක් මිදුලට ඇවිත් නතර කළේය.
ජීප් රියෙන් බැස ආවේ ගුණවර්ධන මහතා විමට හැකිය.
“ආ.. ගුණේ.. ඇතුලට එන්න.”
“මොකද වික්‍රම මේ කලබලේ”
“පොඩි ප්‍රශ්නයක් බන්. අපේ එකා අතින් ඊයේ ගෙදර වැඩ කරන කෙල්ලට පොඩි කරදරයක් වෙලා.”
“හාහ් හාහ් හා... ඔව්වා ගණන් ගන්න එපා වික්‍රම. ඔය වයසට කොල්ලෝ ඔහොම තමා. අපිත් මතකනේ ඉතින් ඒ කාලේ..”
“මට මොකද මතක නැත්තේ ගුණේ.. එව්වා නම් ඉතින් එහෙම තමා. නමුත් ගැටලුව තියෙන්නේ දැන් කෙල්ල සුයිසයිඩ් කරන්.”
“එච්චර වැඩේ දුරදිග ගියාද... දැන් බොඩිය කොහෙද..”
“පිටිපස්සේ අඹ ගහේ කෙල්ල එල්ලිලා තියෙන්නේ. දැන් බෑවා. පිටි පස්සේ බොඩිය තියනවා. දැන් වැඩ කරන කොල්ලෝ ටිකත් කෙල්ල එල්ලුනා කියලා දන්නවා”
“ටිරෝන් පුතා සම්බන්ධයි කියලාත් උන් දන්නවද?”
“නෑ උන් දන් නෑ. හැබැයි කුස්සි අම්මායි තව අලුතින් ආපු කොල්ලෙකුයි වැඩේ දන්නවා. කුස්සි අම්මානම් ගැටළුවක් වෙන් නෑ. ඒ ගෑණි අපි පොඩි කාලේ ඉදන් ඉන්න ගෑණි. එයාට ඕවා හුරුයි. අලුතින් ආපු කොල්ලගෙත් මන් කට නම් වැහුවා. ඌත් අයිත් අරින් නෑ කට.”
“එහෙනම් ගැටළුවක් වෙන්නෑ වික්‍රම. උඹ ඒ කෙල්ලගේ දෙමව්පියන්ට කියක් හරි දීලා දාපන්. ඔය දුප්පත් මිනිස්සුන්ට සල්ලි ටිකක් දික් කරාම කට වහගන්නවා. උඹ දන්නවෙනේ ට්‍රික්ස්. උඹේ විශ්වාසවන්ත කොල්ලෙක් එවන්න මාත් එක්ක. ඌට ගානක් දීලා වැරැද්ද පිළිගන්න කියමු.”
“බොඩියට මොකද කරන්නේ ගුණේ... මේ ගෙදර මහා දවාලෙම මෙකි මරුනනේ. නැත්නම් ඕක මහා දෙයක් නෙමේ මට.”
“මෙහෙම කරමු වික්‍රම... වැඩ කරන කොල්ලෙකුයි කෙල්ලයි පටලවමු. ඊට පස්සේ ඌ කෙල්ලත් එක්ක ඉදලා අත ඇරලා දාලා කියමු. ඒ දුකට කෙල්ල බෙල්ලේ වැල දාන් කියලා පතුරවමු. ඕවත් ප්‍රශ්නද වික්‍රම. මැරුණ කෙල්ලගේ පවුලට කියක් හරි දුන්නම අන්තිමට උබලගේ පවුලට හොද වෙන්නත් පුළුවන්...”
“එහෙනම් එහෙම කරමු ගුණේ.. මේකට අපේ පවුල ගාවන්නේ නැතුව ශේප් කරන්න කොහොමහරි. මන් උඹට හොදට සලකන්නම්..”
“ඕවා මොනවද වික්‍රම.. අපි වහපුවා හැටියට... පුතාට බයින්න කරන්න යන්න එපා. උන් කොල්ලොනේ ඔය වයසට ඔහොම තමා..”
“ඒකනම් එහෙම තමා. මූ සෙල්ලක්කාරයානේ ඉතින්.. ඔයින් ගියා ඇති. මන් කොල්ලෙක් සෙට් කරන්නම් වැඩේට...”
ලොකු මහත්තයා නැගිට ගෙයි පිටුපසට ඇවිද ගියේය. මේ නම් මොන ජාතියේ මිනිස්සුද මට සිතා ගන්නට හෝ නොහැකිය. ගුණවර්ධන නැවත ඇමතුමක් ගත්තේය.
“රුවන්.. මන් මැසේජ් කරන ඇඩ්රස් එකට රාළහාමිලා තුන් දෙනෙක් එක්ක ජීප් එකක් එවන්න.”
“ඕකේ සර්..”
ලොකු මහත්තයා එක්ක එන්නේ නිමලේ අයියාය.
“ගුණේ මෙන්න මෑන්. මිනිහා මගේ විශ්වාසවන්තම එකෙක්. මූ මිට කලිනුත් එක පාරක් මගේ උවමනාවකට ඇතුලට ගියා. අර වාහනේට මිනිහෙක් හැප්පුනේ ඒ කේස් එකේදී. මිනිහා කැමති යන්න ආපහු.”
“හරි වික්‍රම. එහෙනම් මූව මාත් එක්ක එවන්න ඉතුරු ටික බලාගන්නම් මම. වික්‍රම ඒ ගැන හිතන්න එපා බොඩිය අරන් යන්න එයි දැන් ජීප් එකක්. එතකොට කෙල්ලගේ විස්තර ටිකත් එක්ක ඒකිගේ බඩු ටිකත් එවන්න.. මන් ගෙවල් වලට පණිවිඩේ දෙන්නම්. එතකොට උන් ආවම උබ ඇවිත් පොඩ්ඩක් උන්ට කියක් හරි දීලා දාන්න.”
“ඕකේ.. ගුණේ එහෙනම්. උබ මට ලොකු උදව්වක් කළේ. උඹට මන් මේවට සලකනවා... බය වෙන්න එපා.”
“හාහ් හාහ් හා.. ඒවා පස්සට බලාගමුකෝ.”
ජිවිතයක් ගැන කිසිම හැගීමක් නැති මිනිස්සුය. මෙය පඹ ගාලක් යැයි සුමනා අම්මා මුල් දින පැවසුවේ කුමක් නිසා දැයි මට දැන් වැටෙහෙ.තිරිසන් රැළක් මැද්දට මාද කොටුවී හමාරය. 

0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved