Must Read

Tuesday, July 26, 2016

ජන කවි

ජන කවි කියන්නේ පුංචි දරුවන්ට බොහෝ වුවමනා වෙන දෙයක්... කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන නිසා අන්තර්ජාලයේම තැනෙන් තැන ඇති ජනකවි ටිකක් එක්තැන් කරන්නට හිතුනා මේ විදියට....


ජන කවි
ජන කවි යනු මොනවාද?
අතීතයේ විසූ ජනයාගේ ප්‍රධාන රැකියාව වූයේ ගොවිතැනයි. වර්ථමානයේ මෙන් කුලිය දී වැඩ කර ගැනීමක් එකල නොවීය. තමන්ගේ වැඩ තමන්ම කර ගත්තේය. මෙසේ තනිව වැඩ කිරීමේදී අැතිවන පාළුව මහන්සිය මග හරවා ගැනීමට ඔවුන්ගේ මුවින් ඉබේ පිට විය. එසේ ජනයා විසින් කියන ලද කවි ජන කවි යනුවෙන් හැදින්වේ. මේ කවි කියූ කෙනෙකු, ලියූ කෙනෙකු සදහන් වී නොමැත.
            විවිධ වර්ගයේ ජන කවි අැත. උදාහරණ වශයෙන් පැල් කවි, ගොයම් කවි, නෙළුම් කවි, කරත්ත කවි, පතල් කවි, පාරු කවි, කුරහන් කවි හා කමත් කවි යනාදිය සදහන් කල හැකිය.


පැල් කවි
කැලේ ගිහින් ඉනි කැපුවා කැත්ත        දනී
වෙලේ ගිහින් වැට බැන්දා නියර         දනී
පැලේ ගිහන් පැල් රැක්කා පැදුර          දනී
මෙදා යලේ වී නැතුවා දෙයියෝ          දනී

අනේ දෙවියනේ මට වුනු           වියෝයා
පැලේ පැදුර හොරු අරගෙන      ගියෝයා
ගෙදර ගියොත් මා නැති බති       ලියෝයා
පැදුර දුන් කෙනෙක් නෑ මගෙ    සියෝයා

එපිට හේනෙ කිරි වත්තේ මගේ           මලේ
විටෙක වදන් නෑසිමි රෑ නුඹේ              පැලේ
ගමට වෙලා ඉදුමෙන් කිම වනස          පලේ
අදට දෙදිනක්ම නුඹ එහි කිමද             කළේ

ඉර වර වර ඉර වර වර              වලල්ලා   -   සද වර වර සද වර වර                වලල්ලා
පෑදි දියට බොර දිය රත්            වලල්ලා    -  සීපද කියන්නට කවුරුත්           වරෙල්ලා

කන්ද උඩින් එන කිකිළිය          ගෝමරියේ - නළල් පටින් එන දාඩිය මුතු       කැටියේ
අත් පා මුදු පය පා මුදු වයි          රොඩියේ - මට පිටුපා ගෙට යනවද             සුරතලියේ

අහස උපන් තැන සකි නුඹ         දන්නවද - පොළව උපන් තැන සකි නුඹ     දන්නවද
මුහුද උපන් තැන සකි නුඹ         දන්නවද  - සීපද උපන් තැන සකි නුඹ         දන්නවද


මන්දාරමට උඩ කෙළීනා වැහි               ළිහිනී - ගොනුගෙ පිටේ දැම්මා වැනි බර            ගෝනී
වෙල මැද අම්බලම කාටත් පර              වේනී  -      මගේ දුකට නුඹ නාඩන් උල                 ලේනී

වනන්තරේ සල් සපු මල්            පිපීයන්              -          නිරන්තරේ නිල් වරලස             ලිහීයන්
සාවුන් ගිරා ගේ කට හඩ            අැසීයන්          -       නෑනැන්ඩිය මට සිහිනෙන්        පෙනීයන්

පෙර කාලේ තිබුණු පැල දැන්         දිරාලා        -         එම කාලේ බැදපු වැට ගොනු කඩාලා
පැල් පතේ ගොයම් රෑ රැක             බලාලා     -      නිදි මතේ කියමු සීපද ගොතාලා

කිරි වැදි වැදී කිරි වැදි වැදී                              මෝරන්නා
ගොබ අැදි අැදී ගොබ අැදි අැදී                           පූදින්නා
අත නැමි නැමී අත නැමි නැමීබර                      වෙන්නා
පැලට වෙන්න කාලය දැන් දැන්                            එන්නා

ඉර දෙවියන් ඉර මුදුනෙන් වඩින             තුරා
සද දෙවියන් සද මුදුනෙන් වඩින             තුරා
ගණ දෙවියන් ගන අදුරෙන් වඩින          තුරා
සීපද කියමු අපි ඉර ගල තියෙන             තුරා

පෙර කාලේ කරපු අකුසල්      පලදීලා -  මෙම කාලේ විදපු දුක් පැල්වලට   වෙලා
රජ කාලේ පටන් පුරුදුයි පැල් රැකලා  -   ලොකු රාලේ කියමු පැල් කවි ගොතාලා

නෙළුම් කවි
තෙල් ගාලා හිස පීරන්                               නෑනෝ
ඇට වැල අැරගෙන බැද ගන්             නෑනෝ
සේලේ අැරගෙන අැදගන්               නෑනෝ
ගොයම් නෙලන්නට යමු අපි               නෑනෝ

ඉණේ බලාපන් ඉණ වට සේල               බලාපන්
අතේ බලාපන් අත වට ගිගිරි                බලාපන්
කරේ බලාපන් කර වට මාල                 බලාපන්
දැදුරු ඔයෙන් එන එතනගේ ඔමරි       බලාපන්

උදේ ඉදන් වකුටු කොන්ද දිග             අැරපල්ලා - අතේ තියෙන ගොයම් මිටිය බිම     දාපල්ලා
ඉසේ තියෙන ලේන්සු පොඩි අතට         ගනිල්ලා - සතර වරම් දෙවි පිහිටෙන් ගොඩට  යමල්ලා

සෙතක් ලැබේවා තිසරණ සරණේ         අවසර - මෙලක් දිවට අධිපති සැම දෙවිදුන්       සිහිකර
දොසක් අැතත් දුරුකර සෙත සලසා    නිරතුරු  - මදක් කියමි නෙළුම් තහංචිය අපි   කවිකර



යෙහෙලි නගා වරු නෙලුමට        එන්නේ
විහිලු කථාවෙනි නෙළුම            කරන්නේ
මිහිරි ලෙසට කවි පද                පවසන්නේ         
සමගි වෙලා වල් නෙළුම             කරන්නේ

පාරු කවි

මලේ මලේ ඔය නා මල නෙලා              වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා         වරෙන්
කැලණි ගගේ ඔරු යනවා බලා             වරෙන්
සාදු කාර දී ඔරුවක නැගී                     වරෙන්

සූරිය උදාවෙන තුරු පිනි                බෑවිල්ල
පාරුව පදින තුරු වතුරේ            කැළඹිල්ල
මාරුව බල බලා හිත යට            කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත්    රැවටිල්ල

මාතර ගගේ ඉන්නා කිඹුලිගෙ             පැටියා - තල්ල සුදුයි බෙල්ලේ ගෝමර               කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන           සිටියා - මිනී නොකයි මාතර කිඹුලිගෙ             පැටියා

කරුවල තොටේ මම නාමින් ඉන්න        කොට - ලස්සන ලියක් අාවයි මගෙ ඉස්ස              රට
කරේ තිබුණු මුතු දෙපොටේ ලස්ස            නට  - අරන් යන්න හිතුනයි අගුලෙන්                ගමට

මස්සිනාගේ මගුලට මම රුහුණු              ගියා - ලස්සෙ වටින බඩු පටවා එන්න                ගියා
පස්ස බලන කොට අගුලත් ගිලී               ගියාරත්තරන් නෑන මාතර ගගේ                   ගියා

ගමන් යන්න නැකතින් පාරු පැද           ගෙනේ - සමන් දෙවියන්ට පුද පුද පඩුරු බැද        ගෙනේ
මෙවන් කළු ගගේ කදමුල් බලා               ගෙනේ - අපිත් යමුද සැම දෙවියන්ට වැද             ගෙනේ

අවරගිරේ ගිර අවරේ ගිර                              වුන්ට - අදින සැරේ රොන්ගෙනියන බඹ         රුන්ට
ගති අවරේ ගිරිමුදුනේ රෑ                            වෙන්ටඑනු මිතුරේ අපි සැම පාරුවෙ              යන්ට

කුරහන් කවි

හේනේ පැලේ මා විදිනා                සුරුක්කන්
උෟරෝ අැවිත් වට පිට කරති        සක්මන්
වැටටත් උඩින් උන් අල්ලන            මලක්කන්
අපොයි මගේ කිරි වදිනා               කුරක්කන්

මෙදා හේනෙ පැහිලා අැති         කුරක්කන්
රන්වන් කරල් බරවී අැති            කුරක්කන්
උෟරෝ නොකෑවත් හේනේ         කුරක්කන්
බඩගින්නට අවුසදයකි                කුරක්කන්



සරුවට වැඩී එන කුරහන් කරල              දැක
බඩ පිරෙනවා අප සැමගේ දුරුව              දුක
කාලය එළැඹ අැත කුරහන් කරල         දැක
කුරහන් හේන හිනැහෙනවා දුරුවි          දුක


මේවර කවි

සාර සදිසි පෙති පේර නෙලනදා
  වල ගියෙදෝ මගෙ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල්
  මා දුටුවේ නැත මේ වරයා

කොස් වතු කන්දේ කොස් කඩනා දා
  වල ගියෙදෝ මගෙ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල්
  මා දුටුවේ නැත මේ වරයා

මුං වතු කන්දේ මුං නෙලනා දා
  වල ගියෙදෝ මගෙ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල්
  මා දුටුවේ නැත මේ වරයා
බඹර කවි

බැද්ද වටට සුදු මොර මල්                  පිපීලා
සද්ද කර බඹරු එ් මල වට               අඩාලා
ඉටිත් පැණිත් ලොව සැමටම           බෙදාලා
යන්නන් බඹරු දුක් මැසිවිලි            කියාලා

බඹරු අඩන්නේ කදු හත නෙළුම්         මලේ
බඹරු පිට දෙඹරු නාඩන් මොර           මලේ
අැදි සළු සේ අළු අල්ලා බදිති            ගෙලේ
බඹර කපාපන් දුම්බර හෙලේ              ගලේ






කරත්ත කවි
දුප්පත් කමට ගොන් බැඳ ගෙන        දක්කනවා
කන්ටත් නැතුව දිව රෑ අපි          වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක් වද දී අපි      ගෙනියනවා
දැන්වත් දුකට දෙවියෝ පිහිටක්           වෙනවා


වයිර ගොනා දණ ගහලා                   අදිනකොට
මයිල ගොනා පැන්නයි පස්සට               හොරට
මොකද කරන්නේ පූරුවේ කළ                   පවට
ඇදපන් ගොනෝ ඇදපන් ගාල                 ගාවට

බතල කන්ට බැරි බතලේ ගල    කන්ද   -   අලට කන්ට බැරි අලගලේ        කන්ද
හූනට කන්ට බැරි හුන්නස්ගිරි    කන්ද  - මෙකඳු තුනට නායක සමණල   කන්ද

උපන්නාට මේ ලොව වැනෙනවා          විනා  - ලොව සිරිතට අඹු දරු රකිනවා             විනා
රූපේ අරන් පාපේ ගෙවනවා                විනා  -ගෙන යන දෙයක් නැත ණය ගෙවනවා විනා

කළු ගල් තලාලයි පාරට          දමන්නේ   -   එම ගල් පෑගිලයි ගොන් කුර   ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර අදින්නේ       - කිරිගල් පොත්ත කන්දයි අපි   නගින්නේ

බර වැඩියෙන් පටවා කළ   වරදට  -  තඩිබාල දැක්කුවෙ ගොන්  ඉස්සරට
වුණ මෙමුලා කියමිද මම   දැන් කාට  - සුදු වයිරෝ ඇදපන් ගාල    ගාවට

එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද    ගොනා - මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා
දෙගොඩතලා යන වතුරට පැන්න       ගොනා   -  අපොයි මගේ රන්මුතු වල්ලියා          ගොනා

තණ්ඩලේ දෙන්නා දෙපොලේ        දක්කනවා    - කටු කැලේ ගාලේ නොලිහා වද      දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ            දනවා
      -        පවු කල ගොනෝ ඇදපන් හපුතල්  යනවා
රබන් පද
01.  සඳුන් කැලේ අපි යනකොට රිලව් පනිනවා
එක රිලවෙක් බඩ බැඳගෙන පිනුම් ගහනවා
තක දොං පිනුම් ගහනවා

02.  දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
පෙට්ටගමක් උඩ තුටිටු දෙකක් ඇත

03.  උඩ පල ගත්තත් වට්ටක්කා - බිම පල ගත්තත් වට්ටක්කා
      උඩ පල ගත්තත් බිම පල ගත්තත් - පුංචි පුංචි ගෙඩි වට්ටක්කා


04.  තරිකිට දොං දොං අවුරුද්දයි - රබාන දැන් දැන් හරි සද්දයි
තකිට දොදොං තකිට දොදොං තකිට දොදොං දොං
අපට අරන් කැවුම් කොකිස් නැන්ද එනව දොං
අක්කෙ වරෙන් නෑනේ වරෙන් නැන්දත් කැඳවන්
අවුරුද්දට අපි හැමෝම රබන් ගහමු දැන්

05.  රුං රුං රුඳ ගත රුංද ගතත් ගත රුංද ගතත් ගත තෙයි
අපේ ගෙදර තුන් දෙනයි උඩහ ගෙදර තුන් දෙනයි පහළ ගෙදර තුන් දෙනයි
තුන් පොළේම නව දෙනයි ගසට පලච්චෙයි විමනා ගසින් වැටිච්චෙයි විමනා
විමනා කුන්ද මනා කුකඳ මනා කුඳං මනා දොං

06.  වත්ත කතත් කතත්තා
ගෙදර ගතත් කතත්තා
වත්ත කතත් ගෙදර කතත්
දෙකම කතත් කතත්තා

07.  මිටක් අරගෙන විහාරෙට ගොසින් නංගියෙ පූජකර වරෙන්
නංගියෙ පූජකර වරෙන්
බුදුන් දම් සඟුන් වැඳ-ලා දෙගුරු ගුරු වරන් සිහිකර පූජකර වරෙන් නංගියෙ පූජකර
වරෙන් තක තෙයි පූජකර වරෙන්

08.  වංගගිරි මැද වෙස්සන්තර රජ දනක් දුන් සැටි අසන් දොං දොං
රංග බබළාබබළ බබළා නමින් අදිපති සුරන් දොං දොන්
රංබ රඹ ගස යටට වී හැම කොළොම්පුරයේ ඉඳන් දොං දොං
           මේ ලංකාවේ නිරින්ඳුන් ඉදිරියේ ගසමුව රබන් දොං දොං

09.  රෑන ගිරවු නටතෙයි
 ගුඳං ගුඳ පේර දොඩම් වැටෙතෙයි
විටිං විට පේර දොංම් වැටෙටතයි

10.  උඩින් උඩින් වර පෙත්තප්පු
බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර බිමින් බිමින් වර
කැවුම් කන්න වර පෙත්තප්පු

11.  රාන් කිරිල්ලිය රාන් කිරිල්ලිය රාන් කුරුල්ලට එන්න කියාපිය
රන් පුටුවක් උඩ ඉන්න කියාපිය නූලක් මතුරල දේන කියාපිය

12.  රන් රඹුටන් ගස් දෙකයි
වළි කුකුළන් පස් දෙනයි
උන්ගෙ කරේ බොත්තමයි
බලන්න හරි ලස්සණයි


13.  අත්තක රතු මල් අත්තක සුදු මල්
වලූ මල් බෙලි මල් නැන්දගෙ වත්තේ රෑණ කිතුල් මල්
තකදොං තරිකිට තකදොං තරිකිට තකදොංතා තකදොංතා


14.  තාක්ක දොං දොං තාක්ක දොං දොං
තේක්ක මල් පිපිලා ඔන්න බලන් සකි මෙන්න බලන් සකි
පාරට අතු නැමිලා

15.  ඉද්ද මලයි මල් වඩමයි දොංත තකිට තා
නෙලූම් මලයි මල් වඩමයි දොංත තකිට තා
දොං ත තකිට දොංත තකිට දොංත තකිට තා

16.  ඉර බසිනා කල ගසකට කුකුළන් පියාසරින් නගිතෙයි
දෙපතුල් කටුවන් කරමල් රතුවන් රිංද ගුඳන් තකතෙයි
එළිවෙන යාමෙට ඌ ඉඳ එතනින් හීන් හඬින් හඬතෙයි
කුකුළගෙ සවුදම ඔන්න ගසනවා කොක කොක් ගහිති ගතෙයි

17.  වත්තෙ නැන්දගේ රෙද්දෙ තුත්තිරි සිද්ද පත්තිනි දෙයියනේ
තිත්ත තිබ්බටු තෙලෙන් බැද්දත් තිත්තමයි හැම දෙයියනේ

18.  තෙලෙන් බැද්දත් කොබෙයියා
කිරෙන් බැද්දත් කොබෙයියා
තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත්
දෙකෙන් බැද්දත් කොබෙයියා

19.  රුහුණු දනව්වෙහි කරොංචි නයිදෙට ගෑනු හරක් බඳිතෙයි
 තෙතෙයි තෙයි ගෑනු හරක් බඳිතෙයි
 මදු කොළ අහුරක් මිටට කඩාගෙන ඉදොඃ ඉදොඃ කියතෙයි
තෙතෙයි තෙයි ඉදොඃ ඉදොඃ කියතෙයි
බාන් පොටක් ගෙන කර දමාගෙන කදුරු ගහේ බඳිතෙයි තෙතෙයි තෙයි
කදුරු ගහේ බඳිතෙයි මෙ
ච්චර මේ රටේ පිරිමි සිටිද්දිත් ගෑනු හරක් බඳිතෙයි
තෙතෙයි තෙයි ගෑනු හරක් බඳිතෙයි

20.  රන් කුඹලයි රන් කුඹලියි රටක පලච්චී
ගෙදර හිටිය වකුටු කෙල්ල දීග පලච්චී

21.   දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
වන්ඩු දෙකක් උඩු පිට්ටු දෙකක් ඇත




22.  බච්චො ආත්තත් ගොඬේ ආත්තත් කොත්තන් මුත්තත්
 බබියානත් යකදුරු මුත්තත් පේදුරු මුත්තත් ඉලූක් කනත්තත්
කිරි එතනත් යද්දෙහි මුත්තත් ගෝසක මුත්තත් සලමන් මුත්තත්
 කළු මුත්තත් මේ හැම මුත්තල අපේ ආත්තල කොහේ ගියත් දැන් සුර පුරයේ

23.   තකිට දොං දොං
             තකිට දොං දොං තකිට දොං දොං දොං
             අපිට අරන් කැවුම්, කොකිස් නැන්දා එනවා දොං තරිකිට දොං දොං
             අවුරුද්දයි රබාන දැන් හරි - හරි සද්දයි තකිට දොං දොං - තකිට දොං

24.  පිලවක්කේ කැත්ත දො දොං
පිලවටකර කැත්ත දො දොං ගුදං ගතං කැත්ත දො දොං රාං රූං කැත්ත දො දොං

25.  එගොඩ ගොඩෙත් රත්තරන්
            මෙගොඩ ගොඩෙත් රත්තරන්
            එගොඩ ගොඩෙත්, මෙගොඩ ගොඩෙත් ඇතෙක් බරට රත්තරන්...........

26.  රන් තැඹිලි ගස් දෙකයි
            ගොන් තැඹිලි ගස් දෙකයි
            ගස් දෙකට මල් දෙකයි මල් දෙකට ගෙඩි දෙකයි

27.  බුබුල් බුබුල් බණ්ඩක්කා
            තුට්ටු දෙකට මං ගත්තා
            තුට්ටු දෙකට මං අරගෙන තුට්ටු දෙකට මං වික්කා


0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved