Must Read

Tuesday, May 10, 2016

“විද්‍යාව” යනු කුමක්දැ යි හඳුනා ගනිමු.

පහු ගිය දින කිහිපයේ තිබු කාර්යබහුලත්වය නිසා බ්ලොග් පිටුව දෙස බලන්නවත් හැකියාවක් තිබුනේ නෑ. නමුත් අද දිනයේ යම් ඉඩක් ඒ සඳහා ලැබුනා. ඉතින් ලැබුන ඉඩේ හැමෝටම වැදගත් යමක් පළ කරන්නට අවශ්‍ය බව සිතුනු නිසා මේ වගේ ලිපියක් ලියන්නට හිතුනා.ඇත්තටම මමත් මේ දැනුම ලබාගත්තේ තිස්ස සර් ගේ රසායන විද්‍යා පිවිසුම කියන පොතින් ලබාගත් පන්නරය ඇසුරිණි...

“විද්‍යාව” යනු කුමක්දැ යි හඳුනා ගනිමු.


 
  

                                   අවුරුදු ගණනාවක් තිස්සේ විද්‍යාව කියන වචනය කී වාර ගණනක් අහලා, ලියලා තිබුනත් හුඟක් දෙනෙක් විද්‍යාව කියන්නේ මොකද්ද කියලා කල්පනා කරන්න පටන් ගන්නේ ඔය ප්‍රශ්නය ඇහුවට පස්සෙයි. එතකොටයි වැඩි දෙනෙකුට තේරෙන්නේ මෙතෙක් කල් විද්‍යාව ඉගෙන ගෙන තියෙන්නේ (උගන්නනකොට අහගෙන ඉන්නවා වගේ ඉඳලා තියෙන්නේ කිව්වොත් වැඩියෙන් හරි) විද්‍යාව කියන වචනයේ තේරුමවත් නොදැන කියලා. එහෙම නැතිනම් තව සමහරු “විද්‍යාව” කියලා තමන්ටවත් නොතේරෙන, කට පාඩම් කර ගත්ත වචන ටිකක් කියනවා.
                                    අපි අතින් වැරදි කෙරෙන්නේ “අවිද්‍යාව” නිසාය කියා බණ දහම ගැන කතා කරද්දී අහලා ඇතිනේ. ඇයි අපි අතින් වැරදි කෙරෙන්නේ? කැඩිලා තිබුණු රේඩියෝව හදන්න ගිය ඔබට වැරදුනේ (හදන්න බැරි වුනේ) රේඩියෝව හදන්න ඔබ නොදන්නා නිසා නේද? ගමනක් යන්න ගිහින් පාර වැරදුනේ, යා යුතු පාර ඔබ නොදන්නා නිසා නේද? ගණිත ගැටළුව විසඳන්න ගිහින් වැරදුනේ, ගැටළුව විසඳන ක්‍රමය ඔබ නොදන්නා නිසා නේද? එහෙනම් ඇයි අපි අතින් වැරදි කෙරෙන්නේ? “නොදැනීම” නිසා නේද? නමුත් “නොදැනීම” වරදක්ද? සියල්ල දත් අය ලොව නැහැ නේද? (තමන් සියල්ල දත් අය යැයි සිතා සිටින අයනම් ලොව ඇත.) එම නිසා වැරදි සිදු වීමට හේතුව “නොදැනීම” නොවේ. “තමන් නොදන්නා බව නොදැනීම” යි නේද? හෙවත් තමන් දන්නා දේ “නිවැරදිව” නොදැනීම” යි. තමන් යමක් පිළිබඳව නිවැරදිව නොදන්නා බව දැන සිටියේනම්, එම කාර්යය නොකර, ඉන් පසුව, ඒ කාර්යය පිළිබඳව “නිවැරදිව දැනගෙන”, එය කිරීම මගින්, එම කාර්යය නිවැරදිව සිදු කර ගත හැකිව තිබුනා නේද?
                                   



                                   මේ අනුව අපි අතින් වැරදි කෙරෙන්නේ “නිවැරදිව නොදැනීම” නිසානම් “අවිද්‍යාව” යනු “නිවැරදිව නොදැනීමය” නේද? එම නිසා “විද්‍යාව යනු ඕනෑම දෙයක් පිළිබඳව නිවැරදිව දැන ගැනීම” ලෙස ඉතා සරළව හැඳින්විය හැකි බව, දැන් ඔබට පැහැදිලි වනු ඇත. මෙලෙස විද්‍යාව හෙවත් යමක් පිළිබඳව නිවැරදිව දැන කරන්නේ කෙසේදැයි අවබෝධ කර ගැනීම පිණිස, එය කොටස් දෙකකට බෙදාගෙන පිළිතුරු සොයමු.

(1)   පළමුව අප යමක් පිළිබඳව දැන ගන්නේ කෙසේද යන්න සලකා බලමු. හොඳින් සිතන්න. අප දැන ගත් හැම දෙයම දැනගෙන තියෙන්නේ ප්‍රධාන ක්‍රම පහක් මගිනි. දැකීමෙන් (ඇස), ඇසීමෙන් (කණ), ගන්ධයෙන් (නාසය), ස්පර්ෂයෙන් (සම) හා රසයෙන් (දිව)  යන එම යමක් පිලිබඳ දැන ගන්නා ක්‍රම “සංවේදන” නමින් හඳුන්වනවා. සත්ව හා ශාක යන හැම ජීවියෙකුම සතුව, එම සංවේදන සංවේදන ගග්‍රහණය කර ගැනීම පිණිස සැකසුනු “සංවේදක” (ප්‍රතිග්‍රාහක) ඉන්ද්‍රියන්ද (සන්වේදනයත් සමග වරහන් තුල දක්වා ඇති) තිබෙනවා. ජීවින් සතුව ඇති මෙම හැකියාව “සංවේදීතාව” නමැති ජීව ලක්ෂණය වශයෙන් හඳුන්වනවා.
(2)   දෙවෙනුව, එලෙස සංවේදන ආකාරයෙන් දැන ගත් දේ නිවැරදිදැයි දැන ගන්නේ කෙසේද යන්න සලකා බලමු. පොතක පතක තිබුනා, ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරා, රූපවාහිනියෙන් පෙන්නුවා යැයි නිසා හෝ වෙනත් කෙනෙකු තම ඇසින්ම දැක්කා යැයි, තම කණින්ම ඇසුවා යැයි කියන නිසා හෝ දැන ගත් දෙයක් පමණක් නොව තමන්ගේ ඇසින්ම දැකීමෙන් හෝ තමන්ගේ කණින්ම ඇසීමෙන් හෝ දැන ගත් දෙයක් වුවත් සෑම විටම නිවැරදි යැයි පිළිගත නොහැක. කුඩා කල ඔබ ඇසු ගහක් යට නිදා සිටි හාවෙකු ගේ කතාව මතකද? හාවා නිදා සිටියදී තම කණින් අසා දැන ගත් විශාල ශබ්දය අහස කඩාගෙන වැටීම නිසා යැයි සිතා ඉන් ගැලවීම පිණිස දුවද්දී ඌට හමු වන හැම සතෙක්ම හාවාගෙන් අසා දැන ගත් දේ නිවැරදි යැයි පිළිගෙන හාවා සමගම දිවි ගලවා ගැනීම පිණිස දුවන්නට වුනා. නමුත් සිංහයා පමණක් අනෙක් සත්තු හා හාවාගෙන් ද අසා දැනගත් දේ නිවැරදි යැයි එක්වරම පිළිනොගෙන හාවා සමග ඌට ශබ්දය ඇසුනේ යැයි කියූ ඌ නිදා සිටි තැනට ගොස් සොයා බැලූ විටදී හාවාට ඇසුණු ශබ්දය අහස කඩා වැටීමෙන් නොව ඉදුණු බෙලි ගෙඩියක් වියලි කොළ උඩට වැටීමෙන් ඇති වූවක් බව නිවැරදිව දැන ගත් අයුරු ඔබට මතකයි නේද?

                                     ඒ අනුව සංවේදන ආකාරයෙන් අප දැන ගන්නා දේ නිවැරදි යැයි දැන ගත හැකි ක්‍රමය ඒ පිළිබඳව තව දුරටත් සොයා බැලීම හෙවත් පරීක්ෂණ යක් පැවැත්වීම ඔබට පැහැදිලියි නේද? පරීක්ෂණ කිව්වාම සමහරුන්ගේ හිතට එන්නේ විද්‍යාගාරයක් තුල පරීක්ෂණ නල, බිකර, ප්ලාස්කු ආදිය යොදාගෙන රසායන ද්‍රව්‍යය උදව් කරගෙන කරන පරීක්ෂණ හෙවත් සොයා බැලීම පමණයි. ඒවාත් පරීක්ෂණ තමයි. ඒ වුනාට ඒවා පමණමද පරීක්ෂණ? ඕනෑම සොයා බැලීමක් පරීක්ෂණයක්. ඔබ ගෙදර නොසිටි විටක අම්මා කේක් සාදා ඇත්දැයි දැන ගැනීම පිණිස ඇගෙන් ප්‍රශ්න කල විට ලැබුණු පිළිතුර වූයේ කේක් නොසෑදු බව යැයි සිතමු. එසේ අම්මා ගෙන් ඇසීමෙන් දැන ගත් දේ ඔබ විසින් පිලි නොගෙන එය නිවැරදිදැයි දැන ගැනීම පිණිස කාමරයක් කාමරයක් පාසා ඉව අල්ලමින් අල්මාරි පෙට්ටගම් අවුස්සමින් ඔබ ඒ කරන්නේද සොයා බැලීමක් හෙවත් පරීක්ෂණයක් පැවැත්වීමයි.


           
                                        එවිට එක් අල්මාරියකින් කේක් වල සුවඳ දැනුනානම් ඉන් පසුව ඒ අල්මාරිය ඇර බැලූ විට එහි කේක් ඇති බව දුටුවානම් ඒ එම පරීක්ෂණයෙන් ඔබ ලැබූ ප්‍රතිපලය හෙවත් නිරීක්ෂණයයි. එම නිරීක්ෂණය අනුව ඔබ එළඹෙන තීරණය හෙවත් නිගමනය වන්නේ ඔබ ගෙදර නොසිටි අවස්ථාවේ දී අම්මා කේක් සාදා ඇති බවයි. එම නිගමනය නිවැරදිව දැන ගත් දෙයක් හෙවත් විද්‍යාත්මක දෙයකි.
                                        පරීක්ෂණයක් කරන විට අප අතින් දෝෂ සිදු විය හැකි බැවින් සෑම පරික්ෂනයක්ම කීප වාරයක් සිදු කර නිරීක්ෂණ කිහිපයක්ම ලබා ගත යුතු වෙනවා. එවිට වැඩිම වාර ගණනාවක් ලැබුණු නිරීක්ෂණය පමණක් නිවැරදි නිරීක්ෂණය ලෙස පිළිගෙන එම නිරීක්ෂණ විග්‍රහ කර ගැනීම තුලින් එළඹෙන නිගනමය පමණක් නිවැරදිව දැන ගත් දෙයක් හෙවත් විද්‍යාත්මක දෙයක් ලෙස පිළිගනී.
                                        විද්‍යාව විෂයක් වශයෙන් ඉගෙනීමේදී ප්‍රධාන පරමාර්ථය වන්නේ මෙලෙස යමක් නිවැරදිව දැන ගන්නා ක්‍රමය හෙවත් විද්‍යාත්මක ක්‍රමය පිළිබඳව අවබෝධයකට පැමිණීමයි.


විද්‍යාව විෂයක් ලෙස ඉගෙනීමේදී .........

                                         විද්‍යාව තනි විෂයක් වශයෙන් ඉගෙනීම පිළිබඳව සලකා බලමු. එහිදී විද්‍යාව හෙවත් යමක් පිළිබඳව දැන ගන්නා ක්‍රමය ඉගෙනීමේදී විෂය කරුණු ලෙස උපයෝගී කරගෙන ඇත්තේ අප අවට ඇති දේ හෙවත් පරිසරය පිළිබඳවයි. එසේනම් පරිසරයෙහි ඇත්තේ මොනවාද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා.
                                         පරිසරයේ ඇති සියළුම දේ එකින් එක වෙන් වෙන්ව සලකා බැලීමට ගියහොත් ඒ සඳහා වය විය හැකි කාලය වැඩිය. එම නිසා ඉගෙනීමේ පහසුව පිණිස සමාන ලක්ෂණ ඇති දේ එකම වර්ගයකට ඇතුලත් වන ලෙස පරිසරයේ ඇති දේ වර්ග කිහිපයකට බෙදා ගැනීමට සිදු වෙනවා. හැබැයි එවැනි වර්ග කිරීමක් නිවැරදි වන්නේ පරිසරයේ ඇති සියළුම දේ එම වර්ග වලට අයත් වනවානම් පමණයි. පරිසරයේ ඇති යම් දෙයක් එම වර්ග වලට අයත් නොවී ඉතිරි වේනම් ඒවා නිවැරදි වර්ග කිරීමක් නොවේ.
                                         ඒ අනුව සලකා බැලූ විටදී පරිසරයේ ඇති දේ මුලුකව වර්ග 2 කට බෙදිය හැකි බව පෙනෙනවා. එසේ බෙදීම සඳහා උපයෝගී කරගෙන ඇත්තේ බර (Weight) යමක් පොළොවට දක්වන ආකර්ෂණය හා පරිමාව (Volume) ඉඩ ප්‍රමාණයක් ගැනීම යන ලක්ෂණ 2යි.
                                         එනම් පරිසරයේ ඇති බරක් හා පරිමාවක් ගන්නා දේ ද්‍රව්‍යය (Matter) ලෙසත් බරක් හා පරිමාවක් නොගන්නා දේ අද්‍රව්‍යය (Non-Matter) ලෙසත් වශයෙන් වේ. පදාර්ථ යනු ද්‍රව්‍යය සඳහාම භාවිතා වන තවත් නමකි. සෑම ද්‍රව්‍යයක් හෙවත් පදාර්ථයක්ම ස්වභාවයෙහි පවතින්නේ ඝන (Solid), ද්‍රව (Liqud), වායු (Gas) යන අවස්ථා තුනෙන් එකක් වශයෙනි.   

                                         ආලෝකය, තාපය, ශබ්දය, විද්‍යුතය ආදිය පරිසරයෙහි ඇති අද්‍රව්‍ය දේ සඳහා උදාහරණයි. මේ අද්‍රව්‍යය දේ සතුව නොයෙකුත් කාර්යයන් කිරීමේ හැකියාව තිබෙනවා. කාර්යයන් කිරීමේ හැකියාව ශක්තිය ලෙස හඳුන්වන නිසා අද්‍රව්‍ය දේද ශක්තින් ලෙස හඳුන්වන්න පුළුවන්. ආලෝකය, තාපය, ශබ්දය ආදී වශයෙන් ශක්තිය ප්‍රබේද ගණනාවකින් පවතිනවා. 

0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved