Must Read

Tuesday, April 12, 2016

දමස්කස් වානේ කඩුව - Damascus Steel Blade




ඇත්තටම දමස්කස් කඩු නැත්තම් දමස්කස් වානේ කියන්නේ ලොකු ඉතිහාසයක් තියෙන කතාන්දරයක්. ඉතින් දමස්කස් කඩු කියපු ගමන් කෙනෙක්ට හිතෙන්නේ දමස්කස් වානේ වලින් හදපු කඩුව වෙන්න ඇති කියලයි. හැබැයි ඒ ගැන නොයෙක් මත තියෙනවා. දමස් කියන්නේ අරාබි වලින් වතුර කියන තේරුමට. මේ වානේ වලින් හදපු කඩු මත වතුර රැලි වගේ රටා පිහිටලා තියෙනවා. තව තැනක සඳහන් වෙලා තියෙන විදිහට මේ වානේ කඩුව හදලා තියෙන්නේ දමස්කුයි කියලා පුද්ගලයෙක්. ඇත්ත නැත්තනම් කොහොමද දන්නේ නෑ. ඉතින් මේ නියම දමස්කස් කඩු මුලින්ම නිපදවලා තියෙන්නේ සිරියාවේ දමස්කස් ප්‍රදේශය ආශ්‍රිතව කියලයි සඳහන් වෙන්නේ. ඒ කඩු ඉතාමත් නම්‍යශීලි වගේම ශක්තිමත් වුනා. මේ කඩුවට වැඩියෙන්ම ප්‍රසිද්දියක් ලැබුනේ කුරුස යුද්ධ කාලේදී. පැතිරිලා තියෙන කතා විදියටනම් මේ කඩුවට අනිත් කඩු කඩන්න වගේම ගලක් වුනත් කපන්න ශක්තිය තියෙනවා. ඒ වගේම උඩ ඉඳලා සිල්ක් රෙද්දක් උඩට අත ඇරියොත් ඒ රෙද්ද කපාගෙන බිමට වැටෙනවලු. ඒ වගේම පාවෙන කෙස් ගහක්, පිහාටුවක් දෙකට කපලා දාන්න තරම් තියුනුලු.

ඉතින් මම නියම වානේ කඩු කියලා අදහස් කලේ අද වෙනකොට ඒ කාලේ මේ වානේ මිශ්‍රණය හදපු හැටි අභාවයට ගිහින් තියෙන දැනුමක් නිසා.අද කාලේ දමස්කස් වානේ කඩු හදන්නේ නොයෙක් සංයුතියකින් යුක්ත වානේ අධික උෂ්ණත්වයක් යටතේ එකට කලවම් කරලයි නැත්තම් ඇසිඩ් භාවිත කරලයි. මේ ඇසිඩ් භාවිතා කරද්දී මුලින්ම කරන්නේ කඩුව මත ආරක්‍ෂිත ආවරණයක් ආලේප කරලා අවශ්‍ය රටාව ආවරණයෙන් හුරා දමනවා. ඉතින් ඊට පස්සෙ කඩුවට ඇසිඩ් දැම්මහම අර හුරපු කොටස් මත ප්‍රතික්‍රියා කරලා රටා මතු කරනවා.ඉතින් මෙතැනදී තමයි මේ කතාවට ලංකාව සම්බන්ධ වෙන්නේ. මොකද මේ කඩු හදන්න අවශ්‍ය දමස්කස් වානේ නිපදවීම සිදු කරලා තියෙන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දියාව කියන ප්‍රදේශ වලයි. මේ දමස්කස් වානේ එහෙමත් නැත්තම් වූට්ස් (wootz) ලෝහ කුට්ටි අවුරුදු 2300 පමණ ඈත අතීතයේ ඉඳන් ශ්‍රී ලංකාව තුල නිපදවූ බවට සාක්ෂි සමනලවැව ප්‍රදේශයෙන් හමු වෙලා තියෙනවා. ඊට පස්සෙ ක්‍රි.ව. 900 ත් ක්‍රි.ව. 1000 වගේ වෙද්දී මධ්‍යම පෙරදිග පැතිර යනවා.

ඉතින් යකඩ ශක්තිමත් කරන්නේ කාබන් යොදාගෙනයි කියලා ගොඩක් අය දන්නවා ඇති. නමුත් කඩුවක් හදද්දී ශක්තිමත් බව වගේම නම්‍යශීලි බවත් පිහිටන්න ඕනේ. මොකද නැත්තම් වෙනත් කඩු නැත්තම් ලෝහ ආවරණ වලට ඝට්ටනය වෙද්දී කඩුව කැඩිලා යන්න පුළුවන්. ඉස්සර යුද්දෙකදී කඩුව අතරතුර කඩුව කැඩිලා ගියා කියන්නේ ඉතින් ගොඩ දෙනෙක්ට මැරුණා වගේ තමයි. ඉතින් කාබන් වැඩියෙන් දැම්මොත් කඩුවේ නම්‍යශීලි බව අඩු වෙලා තද ගතිය වැඩි වෙනවා. කාබන් අඩුවෙන් දැම්මොත් නම්‍යශීලි බව වැඩි වෙලා තද ගතිය අඩු වෙනවා. ඒත් මේ දමස්කස් වානේ වලින් හදපු කඩු වල නමයශීලි බවයි තද බවයි දෙකම ගානට බැලන්ස් කරගෙන තියෙනවලු. මේ ගැන පරීක්ෂණය කරපු කට්ටියක් කියන්නේ මේ දමස්කස් කඩු වල නැනෝ තාක්ෂනය අන්තර්ගත වෙලා තියෙනවා කියලයි. හැබැයි ඒ කාලේ එවැනි තාක්ෂණයක් යොදා ගත්තේ කොහොමද කියලනම් පැහැදිලි නෑ.

දැන්නම් ඉතින් ඒ තාක්ෂනය නැති වෙලා ගිහින්. ගොඩක් වෙලාවට ඒ සඳහා රහස්‍ය භාවය තමයි බලපාන්න ඇත්තේ. ඉස්සර ලංකාවේ යක්‍ෂ ගෝත්‍රය යකඩ කර්මාන්තයේ යෙදුනා කියලනේ සඳහන් වෙන්නේ. නමුත් අද වෙද්දී ඒ තාක්ෂනයන් නැති වෙලා ගිහින්. මම ලංකාදීප පත්තරේ දැක්කා ඉස්සර තිබුණු උඳුන් දෙකක් නැවත අලුත්වැඩියා කරලා අත්හදා බැලුවා කියලා. පල්ලෙහා පින්තුර උපුටා ගත්තේ ලංකාදීප වෙබ් අඩවියෙ මේ පිටුවෙන්.




තව ඉන්ටර්නෙට් එකේම සැරිසරද්දී දැක්ක කතාවක් තමයි ලංකාවේ රජ කෙනෙකුටත් මේ වගේම කඩුවක් තිබිලා තියෙනවලු. හැබැයි ඒක හදාගෙන තියෙන්නේ සිරියාවෙන් ගෙන්නපු ශිල්පින් මගින්. කොහොම වුනත් තාමත් මේ කඩු වගේම ලෝහය නිර්මාණය කරන තාක්ෂණයත් ප්‍රතිනිර්මාණය කරන්න කාටවත් පුළුවන් වෙලා නෑ. කටනා වගේ නෙවෙයි මේකනම් මටනම් පේන්නේ සුපිරි ආයුධයක් වගේ තමා.

0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved