Must Read

Friday, March 25, 2016

ස්පාර්ටකස් - Spartacus




ඔහුගේ කතාව ආරම්භ වන්නේ ත්‍රේශියාවෙන් ( අද බුල්ගේරියාව පිහිටා ඇති භුමිය) කිව්වත් වුවත් නිශ්චිත ආරම්භය තවමත් විවාධයට තුඩු දෙන කරුණක්. ස්පාර්ටකස් සංචාරක ගෝත්‍රයකට අයිති අයෙකු බව ග්‍රීක ඉතිසාසඥ Plutarch සඳහන් කර ඇති අතර රෝම ඉතිසාසඥ Florus නම් සඳහන් කර ඇත්තේ ඔහු කුලී හේවායෙකු බවයි. කෙසේ නමුත් ඔවුන්ගේ  ඒ සටහන් හා තවත් අතලොස්සක් තරම් වෙච්ච විශ්වාස කල හැකි ඉතිහාස මුලාශ්‍ර මගින් ස්පාර්ටකස් ත්‍රේසය අතහැර රෝමයේ සොල්දාදුවෙකු වූ බව තහවුරු වෙලා තියෙනවා. තම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රෝමයට සේවය කලත් කුමක් හෝ කරුණක් නිසා ඔහුව පසුව කැපුවා වල සිරකරුවෙකි වී බටියාටස් ගේ ග්ලැඩියේටර් පාසලට (ludus) ඇතුලත් වීමට සිදු වෙලා තියෙනවා කියලයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

ඉතින් ඇත්තටම කියනවනම් ග්ලැඩියේටර් කෙනෙකුගේ ජීවිතය බටහිර සිනමාව අපිට පෙන්වනවා මෙන් ගෞරවයෙන් සහ මාන්‍යයෙන් පිරුණු එකක්නම් නෙවෙයි. ගොඩක් වෙලාවට ග්ලැඩියේටර් වරුන් වෙන්නේ අපරාධකරුවනුයි එහෙමත් නැත්තම් තමාගේ ස්වාමියන්ට අකීකරු වූ හෝ ඔවුන්ගේ අකමැත්තට ලක්වූ වහල් සේවකයනුයි. ඒ වගේම ඔවුන්ව පුරුදු කරන ග්ලැඩියේටර්  පාසල ඉතාමත් දැඩි කුරිරු විනය නීති යටතේ පවත්වාගෙන ගිය එකක් බවයි සඳහන් වෙන්නේ. එම නිසා කවුරුවත් කැමැත්තෙන් එහෙ යන්නේ නැහැ. ඉතින් මේ ග්ලැඩියේටර් ක්‍රීඩාව කියන්නෙ අතීත රෝමයේ ප්‍රසිද්ධ හොඳ ආකර්ෂණයක් තිබු ක්‍රීඩාවක්. නමුත් එහි ආකර්ෂණය විනෝදය ඇත්තේ එය නරඹන අයට පමණමයි. අතීතයේ රෝම මිනිසුන් අපරාධකරුවන් ( ඔවුන්ගේ මිම්මට ) තමාගේ අවසානය ළඟා කරගැනීම සජීවීව නරඹලා අතිශයින් විනෝද  වෙලා තියෙනව.  සමහර ක්‍රීඩාවන් සකස් කරන්නේ ඔවුන්ව මරා දැමීමම අරමුණු කරගෙන නිසා ග්ලැඩියේටර් වරුන් යනු අතිශය දුෂ්කර ජිවිතයක් ගෙවූ අය වෙනවා. ඒ කොහොම වුනත්  ඔවුන් අතර එවැනි ඉරණමක් සුදුසු අය ඉඳල තියෙන්නේනම් අතලොස්සක් පමණක්  බවත් මතක තබා ගත යුතුයි. ස්පාර්ටකස්ට ඔවුන් අතරට පැමිණීමට සිදු වූ හේතුව නම් අදටත් හරියට හොයාගෙන නෑ.



තුන් වන වහල් යුද්ධය ( ස්පාර්ටකස්ගේ යුද්ධය, ග්ලැඩියේටර් යුද්ධය ) - ක්‍රි.පු. 73-71 

කොහොමහරි ස්පාර්ටකස් යම් කාලයක් (ඉතිහාසයේ කාලය සඳහන් වී නැත) ග්ලැඩියේටර් වරයෙකු ලෙස තම ජීවිතය රැකගෙන ජිවත් වී තියෙනවා . නමුත් ඔහු එම ජිවිතයේ ඇති අසාධාරණය කටුකත්වය නිසා ක්‍රි.පු 73 දී කුස්සියේ ආම්පන්න භාවිතා කර ග්ලැඩියේටර් පාසලේ අනෙක් ග්ලැඩියේටර් වරුන් සහ වහලුන් සමග එක් ව සටන් කොට නිදහස් වී ඔවුන්ගේ තරඟ සඳහා ඇති ආයුධ පැහැරගෙන Vesuvius කන්දට පැන ගොස් කඳවුරු ගසාගෙන තියෙනවා. නිදහස් වීමෙන් පසු අනෙක් හරි හමන්  නායකත්වයක් නැතිව හිටිය වහලුන් විසින් ස්පාර්ටකස්, ඔනේමස්, ක්‍රිස්සස් ව ඔවුන්ගේ නායකයන් වශයෙන් පත් කරගෙන තියෙනවා. ඉතින් මේ ස්පාර්ටකස් කොච්චර යුද්ධයේ ප්‍රවිනයෙක්ද කියනවනම් ඔහුගේ යුධ සැලසුම් අනුව වහලෙක් වීමට පෙර ඔහුට යුධ පුහුණුවක් ලැබී ඇති බව විද්වතුන් විශ්වාස කරනවා කියලයි සඳහන් වෙන්නේ.

රෝමය විසින් ස්පාර්ටකස් ව මරා දැමීමට රෝමයේ ප්‍රේටර් වරයෙක් (කමාන්ඩර් හෝ මහේස්ත්‍රාත් වැනි) වූ ගයස් ක්ලෝඩියස් ග්ලෙබර් යටතේ සේනාංකයක් ඒවා ඇති අතර ඔවුන් ස්පාර්ටකස් සහ ඔහුගේ මිනිසුන්ව බඩගින්නේ තබා යටත් කර ගැනීමේ අරමුණින්  Vesuvius කන්ද  වට කර කවුරුන් හටවත් පැන යා නොහැකි සේ කඳවුරු බැඳගෙන තියෙනවා. ඒ වුනාට වැල් මඟින් ලණු සෑදු ස්පාර්ටකස් කන්දේ බෑවුම් පැත්තෙන් බැස ගොස් ආරක්ෂා කර නොතිබූ කඳවුරු වල පිටුපස කොටසට පහර දී ඔවුන්ගෙන් බොහෝ කොටසක් මරා දමා උපාය මඟින් එම සටන ජයග්‍රහණය කරලා තියෙනවා. එලෙස රෝමානු සේනාංකයන් උපායෙන් සහ හැකියාවෙන් පරාජය කල ස්පාර්ටකස් ගේ හමුදාව මිනිසුන් 70000 වන තරමට වැඩි වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. යුද්ධය අතින් බලද්දීනම් ස්පාර්ටකස් නම් නළුවෙක් නෙවෙයි මොලයක්ම තමයි.


ප්‍රේටර් ගයස් ක්ලෝඩියස් ග්ලෙබර් ගේ පරාජයෙන් තවත් සැලකිලිමත් වුනු රෝමය ක්‍රි.පු. 72 දී  Lucius Gellius Publicola හා Gnaeus Cornelius Lentulus Clodianus ගේ නායකත්වයෙන් යුතු සේනාංක දෙකක් ස්පාර්ටකස් වෙනුවෙන් පිටත් කර තියෙනවා. ඔවුන් විසින් ක්‍රිස්සස්  නායකත්වය දැරූ 30000 පමණ විප්ලව වාදීන් පරාජය කෙරුවත් පසුව ස්පාර්ටකස් අතින් පරාජයට ලක් වී තියෙනවා.

ඉතින් මේ වැළකිය නොහැකි පිරිසක් සේ පෙනුණු විප්ලවාදීන් නිසා වියරු වැටුණු රෝමයේ සෙනට් සභාව ස්පාර්ටකස් ව නැවතීමේ මෙහෙයුම රෝමයේ එවකට ධනවත්ම මිනිසා වූ Marcus Licinius Crassus ට භාර දීලා තියෙනවා. ඔහු රෝම සේනාංක 8 කට නායකත්වය සැපයූ අතර එහි හොඳින් පුහුණු රෝම සොල්දාදුවන් 40000 පමණ සිටි බවයි කියවෙන්නෙ.එසේම එම සේනාංක ඔහු විසින් ඉතාමත් තද විනය නීති යටතේ පාලනය කර ඇති බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඔහු විසින් ස්පාර්ටකස් ට ලුකෙනියාව හරහා දකුණු දෙසට යාමට සිදු වී ඇති අතර ක්‍රි.පූ. 71 අග භාගය වන විට ඔහු Rhegium වල කඳවුරු බැඳගෙන තියෙනවා.

ස්පාර්ටකස් විසින් වහල් විප්ලවය සඳහා තවත් පිරිස එකතු කර ගැනීම උදෙසා Sicily වලට යාමට මුහුදු මංකොල්ල කරුවන්ට මුදල් ගෙවුවත් ස්පාර්ටකස්ගේ අවාසනාවට ඔවුන් ස්පාර්ටකස් ට ද්‍රෝහී වී තියෙනවා.ස්පාර්ටකස් විසින්ම බෝට්ටු තැනීමට ගත් උත්සහයද Crassus විසින් සාර්ථක නොවීමට වග බලා ගත්  බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉන් පසුව ස්පාර්ටකස් ගේ හමුදාව කොටු වී ඇති අතර ඔවුන්ගේ සැපයුම් ද අහුරා දැමීමට Crassus ගේ සේනාංකයන් සමත් වී තියෙනවා. එයින් විනය පිරිහී ගිය ස්පාර්ටකස් ගේ හමුදාව කුඩා කොටස් වලට බෙදී තැනින් තැනින් රෝම සේනාංකයන්ට පහර දීමට උත්සහ කරත් ඒවා වැඩිය සාර්ථක වුනේනම් නෑ. ඉතින් ඉතිරි තමන්ගේ හමුදාව එකතු කර ගත් ස්පාර්ටකස් රෝමනුවන්ට එරෙහිව අවසන් සටන කිරීමට තීරණය කරලා තියෙනවා. එම සටනින් බොහෝ විප්ලව වාදීන් මිය ගිය අතර ස්පාර්ටකස් ද මිය ගිය බව මුලාශ්‍ර වල සඳහන් වන නමුත් ඔහුගේ සිරුර සොයා ගැනීමට නොහැකි වූ බවද සඳහන් වීම විශේෂත්වයක්. සටනින් පසු Crassus විසින් ස්පාර්ටකස් ගේ අනුගාමිකයින් 6000 ම ඉතාමත් කුරිරු විදිහට රෝමයේ සිට කැපුවා දක්වා මාර්ගයේ ඇන ගහලා මරලා තියෙනවා.

අදටත් නිදහස වෙනුවෙන් කරන සටන් වලදී ස්පාර්ටකස් යන චරිතය  උදාහරණයක් ලෙස ගෙන දැක්වීමද විශේෂත්වයක්. ඒ වගේම ස්පාර්ටකස් තේමාව මුල් කරගෙන ගොඩක් චිත්‍රපටි වගේම tv සීරියස් පවා හදලා තියෙනවා.

0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved