Must Read

Tuesday, March 29, 2016

චූටි දෝණි




ඈත ගමක රුහුණ පැත්තේ 
ඉපදුනා පොඩිදූ පැටියෙක් 
සුදුම සුදුයි සුකුමාළයි
ගේ පුරාම කිරි සුවඳයි
ගෙදරට ඇය සිරියාවයි 
ගමම කිව්වෙ හරි සතුටින් 

වැටි වැටි ඇවිදින ඇය දුටු 
සැමගේ සිත් ඇදගන්නිය 
හුරතලේට හිනෙහනවා
සැම සිත් ඇය පිනවන්නිය 
කිරි සුවඳින් ගම පුරාම 
බහ තෝරා සිනහෙන්නිය 

චූටි කෙල්ල ලොකු වීලා
ස්කෝලෙට දැම්මා අද 
හොඳට ඉගෙන ගන්න දුවේ 
අම්මා අප්පා සතුටු වෙන්න 
සුදු ගවුමෙන් හැඩවුණු ඇය 
දුටුවන් සිත් පහදන්නිය 

අද උදේම ඉස්කෝලෙන් 
පණිවිඩයක් එවලා ගෙට 
චූටි දෝණි ලොකු වෙලාලු 
එන්නලු අම්මට විගහට 
සතුට කියා ගන්නට බෑ 
අම්මා ගියා හනි හනිකට

නැකත් දිනයේ නාවාලා 
සුදු පිරුවට අන්දාලා
රත්තරනින් පුරවාලා 
චූටි දෝණි හැඩවීලා
ඇය දැන් ලොකු ලමිස්සියක් 
ගම හැම තැන පැතිර ගියා 

ටික ටික කාලය ගෙවුනා
අවුරුදු දාසයක් වුනා 
හැඩකාරයි කටකාරයි 
බඹර පොරේ වැඩිවූවා 
ඇහැට කනට පේන එකී 
ගම පුරාම කතා වුනා 

ගමේම එක අයියා කෙනෙක් 
පොඩි දෝනිට වහ වැටුනා 
පස්සෙන් ගොස් මාස හයක් 
ඇයව කැමති කර ගත්තා 
ගමේ පුහුලන් ගමට තමයි 
ගමේ කොල්ලෝ මුකුළු කරා 

ආදරේ දළුලා වැඩුනා 
මව් පියෝ අමතක වූවා 
මුහුදු අයිනේ කාමර වල 
චූටි දෝණි නතර වුනා 
අයියා මගේ පණය සිතා 
ඇගේ ලොවම ඔහුට පුදා 

දවසක් දා හැන්දෑවක 
අයියා නොකියාම ගිහින් 
හැඬූ කඳුළු වලට ඉතින් 
කාමරේම පෙඟිලා ගිහින් 
ඒකිගෙ ජිවිතේ ඉවරයි 
ගම පුරාම පැතිර ගිහින් 

මහ දවාලේ දවසක් දා 
දෝණි ඇන්දා ඇද වැටුනා 
ඈ දැන් බඩ දරු වීලා 
කියලා කිව්වා වෙද ආතා 
උණු කැවුමක් වගේ වෙලා 
පුවත ගමේ විකිණ ගියා 

ගමේ ඉන්න මහ උන් ටික 
ගැහුවා කැලෑ පත්තරයක් 
වටේ ගිහින් බඩදරු වුන
චූටි දෝණි අපිට එපා
ඒකි නම් හොඳ බඩුවක් 
ගමටම ඇය හූනියමක් 

කාමරයේ වැලපී වැලපී 
තනියට අම්මයි අප්පයි 
සමාවෙන්නමගෙ අම්මා 
ඇය ලිව්වා පොඩි ලියුමක් 
කුස්සියේ තිබු පාසානම් 
ගිල්ලා ඇය දෑස් පියන් 

අනේ මගේ දෝණි ඇන්දා 
විලාප දෙයි අම්මා අප්පා 
පත්තර ගැසූ සිල් ඇත්තන් 
අනේ අපොයි හූල්ලලා 
කිසිම දුකක් දැනෙන් නැතිව 
චූටි දෝණි නිසල වෙලා

0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved