Must Read

Thursday, March 31, 2016

පිය සෙනහස

මව් කුසේ පුතු ඉන්නවායැයි කියූ මොහොතත් තවම මතකයි
පුoචි උඹගේ මුල් සිනාවෙන් සතුටු වුනු හැටි තවම මතකයි
තාත්තා කියා බොහොම සීරුවේ කියු ඒ මුල් දිනය මතකයි
උඹට අමතක උඹේ තාත්තට උබේ ලෝකය තවම මතකයි

ස්කෝලේ යන්නට බෑ කියාලා මා බදාගෙන අඩාලා
අම්මා එක්කලා තරහා වීලා මා පස්සෙමයි දැවටීලා
පුoචි දෙපයේ වාරු නැතිවට මා දෑතේ පැටලීලා
උඹේ සුරතල් කමින් මගේ සිත තවම නෑනෙ වෙන්වෙලා

මහ රෑට උඹ නිදි මරාගෙන තනිව පාඩම් කරද්දි
නිදි ගන්න බෑ මේ මටත් එදා පුතා ඇහැරිලා ඉදිද්දි
එදා යාළුවෝ එක්ක එක්වෙලා දුම් පයිප්පේ උරද්දි
දුන්නු පාරට සිත රිදීලා මමත් හැඩුවා උඹ අඩද්දී

ලොකු විභාගය සමත් වීලා උපාධිය ගත් මයේ පුතා
කොලොම්පුරයේ ලොකු ඔෆිසියේ ලොකු මහත්තයා මයේ පුතා
හිතේ සතුටට කිව්වා සැමටම මේ තමයිනේ මගේ පුතා
තාත්තෙක් වුනා ගිය වසරේ උඹ මම සීයා දැන මයේ පුතා

ලොකු මහත්වරු ඇසුරේ ඉද්දි උඹේ පියා මදි කමක්දෝ
මහළුවී ගිය මේ තාත්තා උඹට දැන් මදි කමක්දෝ
මඩමකට ගොස් ගිහින් දැම්මේ මා එපා වත් වීලදෝ
කමක් නෑ පුතේ ඉවස ගන්නම් උඹ හොදින් ඉන්නවාදෝ

කුසට අහරක් නොළැඹුනත් මට ඉන්න පුළුවන් මගේ පුතේ
මඩමේ ලොකු නෝනගේ බැනුනුත් ඉවසුවෑකි මගේ පුතේ
සිතට සතුටක් නැති උනත් මට ඉන්න පුළුවන් මගේ පුතේ
ඒත් නුඹගේ මුහුණ නොදැකම මිය යන්ට බෑ මගේ පුතේ

0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved