Must Read

  • අවදි සිහින - LUCID DREAMS

  • නිරෝගී දිවියකට උළුහාල්

  • චූටි දෝණි

New Post

Rss

Wednesday, March 7, 2018
"නිර්මාල්"... THE STORY OF A BOY - 13

"නිර්මාල්"... THE STORY OF A BOY - 13

"නිර්මාල්"... THE STORY OF A BOY - 08

****************************උපුටා ගැනීමෙන් වලකින්න*********************************


ඔහු කඩවසම් තරුණයෙකි.. උරුමය පොහොසතෙක් වන්නට වුවත් දෛවය ඔහුව මෙහෙ කාරයෙක් බවට පත් කොට ඇත. නමුත් තම උරුමය සෙවීම ඔහුගේ යටි හිත තුළ නළියයි.. ඒත් දෛවය ඊට භාදක රැසක් පමුණුවයි. ඔහු සටන් කරන්නේ ඔහුගේ උරුමය වෙනුවෙනි. තවත් පැත්තකින් ඔහුට ආදරණිය සහකාරියකගේ නොමද උණුසුම ලැබේ. වගකීම්, ආදරය, සහ උරුමය... මේ සියල්ල රැක ගැනීමට ඔහුට හැකිවේවිද...



“තාත්ති මට අද ගේට් ටු ගෙදර් එකක්. ස්කුල් යාළුවො කීපදෙනෙක් එකතු වෙලා කරන්නේ මාත් යන්නද....” පඩි පෙළ ටික බැසගෙන ලොකු මහත්තයා අසළට පැමිණෙමින් සඳලි පවසන්නට විය. ඇගේ මුහුණේ තිබු ලෙඩ පාට දැන් නම් කොහෙන් ගියාද කියා නැත. මා එවලේ සිටියේ ලොකු නෝනාගේ කකුලේ තෙල් ගාමින් නිසා ඇගේ ලස්සන මුහුණ රස විඳිමින්ම ඒ කටයුත්ත කරන්නට හැකි විය.
“ දූ අද මට ඔයාව පික් කරන්න එන්න බෑනේ... අනික ඔයාට ඊයේ හොඳටම උණ තිබ්බනේ.. දැන් හොඳයිද..? ”
“මට දැන් හොඳයි.... අනේ තාත්ති ප්ලීස්... එයා කැනඩා යනවලු ටුමාරොව්. ඉන්ග්ලන්ඩ් ගියාට පස්සේ මට එයාව මීට් වුනේම නෑ තාත්ති.”                                  
“දැන් කවුද ඔය ළමයා...”
“අර ශාමිකා තාත්ති.. මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ඉස්සර...”
“ඊයේ හොඳටම උණ තියාගෙන අද තනියම යවන්න බෑනේ දූ..”
“අනේ මට දැන් හොඳයිනේ තාත්ති ප්ලීස්....ප්ලීස්...”
“හ්ම්... අම්මගෙන් ඇහුවද..?”
“ඔව්... අම්මි කිව්වා තාත්ති ඕකේ කලොත් යන්න කමක් නෑ කියලා..”
“ම්ම්... දූට යන්නම ඕනේ නම් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක තමයි යන්න වෙන්නේ...එහෙම ගැටළුවක් නැත්නම් ගිහින් වැඩි වෙලා ඉන්නේ නැතුව එන්න”
“ම්ම්ම්... තාත්තිට එන්න බැරිද...” ඈ හොරැහින් මා දෙස බලමින් පවසන්නට විය.
“මට අද වැඩ ගොඩයි දූ.. ඇයි ඩ්‍රයිවර්ලා එක්ක යන්න දූ කැමති නැද්ද...”
“නෑ තාත්ති එහෙම අවුලක් නෑ.. මගේ තාත්ති තරම් ඉතින් කාටවත් ඩ්‍රයිව් කරන්න බෑනේ...”
කියමින් සඳලි ලොකු මහත්තයාගේ කර වටා අත යවා ගත්තාය.
“එකනේ මම දූගේ තාත්ති වුණේ.. දූ එදා ෂොපින් ගියේ නිර්මාල් එක්ක නේද..”
“ඔව් තාත්ති...” ඈ හොරැහින් මා දෙස බැලුවාය.
“ඌ අවුලක් කළේ නෑ නේද දූ”
“නෑ තාත්ති...” ඈ කිසිත් නොදන්නා සේ පැවසුවාය.
“එහෙනම් නිර්මාල් එක්ක යන්න.. නිර්මාල් උඹ ඕක ඉවර කරලා පිළිවෙලක් ඇති ඇඳුමක් ඇඳන් වරෙන්. බෙබිව පික් කරලා එතැනම ඉඳලා බෙබිව ආපහු එක්ක එන්න. අනික පරිස්සමෙන් ඩ්‍රයිවින් කරන්න. ඕකේ.... ” ඔහු මා දෙස බලා පැවසුවේය.
“හොඳයි ලොකු මහත්තයා...”
“දූ එහෙනම් ලැස්ති වෙන්න.. මූ මේක ඉවර කරලා එද්දී දූට පුළුවන් ලැස්ති වෙන්න.”
“තැනක් යූ තාත්ති.... උම්මා...” ඈ ලොකු මහත්තයාව සිප ගනිමින්  උඩු මහලට පිය මැන්නාය. ලොකු මහත්තයා සිනහා වෙමින් ඇය යන දෙස බලා සිටියාය.
“මට බය උඹේ ඔය හුරතලේ නරකට හිටීද කියලා” ලොකු නෝනා තම බෝතල් කන්නාඩි දෙක පහත් කරමින් ලොකු මහත්තයා දෙස බලා පැවසුවාය.
“එහෙම වෙන්නේ නෑ අම්මා... මන් දන්නවානේ...”
“හ්ම්ම්... උඹ දන්නා කෙහෙල් මල.” යැයි පවසමින් ඈ නැවතත් බණ පොත බලන්නට විය.
“හහ්හා හා අම්මා බය නොවී ඉන්නකෝ... නිර්මාල් ඕක ඉක්මන් කරලා ඉවර කරලා මන් කිව්වා වඩේ කරපන්...”
“කොල්ලෝ ඇති ඔය තෙල් ගෑවා. ලොකු මහත්තයා කිව්වා වැඩේ කරපන් ගිහින්..”
“අම්මා ඔය වඩේ කරගෙන ඉන්න...”
නෑ බන්.. ඔය මැදෑ මූ දැන් පැයක් විතර තිස්සේ තෙල් ගානවනේ
“රයිට් රයිට් අම්මා එහෙනම් මමත් මෙහෙම්ම යනවා... සුමත්‍රා... මම යනවා....”
ලොකු මහත්තයා තමන්ගේ කාමරය දෙස බලා කෑ ගැසුවේය.
“ඔහොම ඉන්න වික්‍රම.. මමත් එනවා. මාවත් අපේ අම්මලා ගේ ගාවින් පික් කරන් යන්නකෝ...”
“ඉක්මනට එන්න. ඇයි අද මේ හදිස්සියේ..”
“අද අයියාගේ දුවව බලන්න මනමාලයෙක් එනවා වික්‍රම.. සිරිවර්ධනලගේ පුතෙක්ලු. අම්මා උදේ කෝල් කරාමයි මටත් මතක් වුණේ...”
“කවුද අපේ මේ ඩීමන් සිරිවර්ධනලගේ?”
“ඔව් අක්කා තමයි කිව්වේ.. සිරිවර්ධනලගේ වයිෆ්ගේ නංගිගේ පුතෙක්ලු....”
“ම්ම්... සිරි මට නිකන්වත් කිව්වේ නෑනේ.. අපිත් නෑයෝ වෙයිද දන් නෑ එහෙනම්.. හාහ් හාහ් හා.... මිනිහා ගෙන් අහලා බලන්නම්කෝ මන්...යමු ඉක්මනට..” යැයි පවසමින් ලොකු මහත්තයා ගොස් ප්‍රාඩෝ රථයේ අසුන් ගත්තේය.ඔහුත් සමඟම සුමිත්‍රා මැඩම් ද පිටත් විය.
සිරිවර්ධන අංකල් පිලිබඳ වෙලාවකට ප්‍රශ්නාර්තයක්ද නැගේ. නමුත් ඒ ඔහුගේ පෞද්ගලික ජිවිතයය. මට උදව් කළා කියා ඔහුගේ පෞද්ගලික දිවියට ඇඟිලි ගැසීම මා නොකළ යුත්තකි. සඳලි ව මතක් වූ නිසා ඉක්මනින් ඇඳුමක් ඇඳ කාරය ගේ ඉදිරිපිටට ගෙන ආවෙමි. ගේ ඇතුලේ සිට දුව විත් ඇය කාරයේ පිටුපස හසුනේ ඉඳ ගත්තාය. මම සෙමින් වාහනය ගේට්ටුවෙන් එලියට ගෙන ඉදිරියට පැදෙව්වෙමි. ඇය කිසිවක් පවසන්නේ නැතිව නිහඬවම දුරකතනය දෙස බලාගනිමින් සිටින  නිසා මම හඬ අවදි කළෙමි.
“සඳලි... කොහෙටද යන්න ඕනේ....”
“මමත් මේ කල්පනා කළේ ඒක තමයි...”
“ඇයි ළමයෝ යාළුවගේ ගෙදර තියෙන තැන මතක නැද්ද...”
“මොන යාලුවාගේද...”
“ඇයි ඔයා කිව්ව යාළුවා...”
ඈ තනිවම සිනාසුණාය. මා ඇය දෙස ඉදිරිපස වූ කණ්නාඩියෙන් බැලුවෙමි.
“ඔය වාහනේ පොඩඩක් අයින් කරලා නවත්තන්න නිර්මාල්..”
“හ්ම්....”
මම සෙමෙන් පාර අයිනට වාහනය ගෙන නැවත්තුවෙමි. කාරයේ දොර හැර එයින් බැස ඈ ඉදිරි හසුනට පැමිණියාය.
“මෙහෙම යනවා තාත්ති එහෙම දැක්කොත් නම් අපි දෙන්නම ගස්...”
“අපෝ ඔයා නම් මහා බයගුල්ලෙක්...”
“ගිනි පෙල්ලෙන් බැට කෑ මිනිහා කණමැදිරි එළියටත් බයයි.. අහලා නැද්ද එහෙම... ”
“නෑනේ මම අහලා නෑ එහෙම...” ඈ මා දෙස බලා දිව දික් කරමින් පැවසුවාය.
“කියන්නකෝ  යාළුවගේ ෆන්ෂන් එක කොහෙද තියෙන්නේ...” මම ඇය දෙස බලා පැවසුවෙමි.
ඈ නැවතත් සිනාසෙයි. “ඇති ෆන්ෂන් එකක් නෑ අනේ... මන් පොඩි ප්ලෑන් එකක් ගැහුවා අපිට මිට් වෙන්න... අපෝ ඔයානම් බබෙක්.. නළවන්න තමයි හොඳ.. ඒකවත් තේරෙන් නෑ...”
මම ඇය දෙස හැරි පුදුමයෙන් මෙන් බැලුවෙමි.
“ළමයෝ අම්මලට බොරු කරන්න හොඳද ඔහොම..”
“මේ වගේ අහිංසක බොරුවක් කළා කියලා පව් නෑ. අනික ඇත්ත කිව්වා නම් තාත්ති යන්න දෙන්නේ නෑනේ. මම වැරද්දක් කරන් නෑනේ බොරුවක් කිව්වට.”
“හරි හරි... අම්මේ නිදහසට කාරණා වැඩිත් එක්ක... ඉතින් අපි කොහෙද යන්නේ...”
“අපි කළුතර බෝධිය වඳින්න යමුද...”
“එච්චර දුර ? අඳුරන කෙනෙක් එහෙම දැක්කොත්..”
“කවුරු දකින්නද අනේ.. මේ දවල්ට තාත්ති අඳුරන අය කළුතර එන්නේ නෑ... මගේ යාලුවෙක් කිව්වා එයත් යාළු වුනාට පස්සේ මුලින්ම ගියේ කළුතර බෝධිය වඳින්න කියලා.”
“ඔයා ඔක්කොම ප්ලෑන් කරලා නේද...”
“ඔව්.... එහෙම තමයි මම.. අපි ගිහින් භාරයක් වෙමු... අපි දෙන්නට හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා... අපිව ඉක්මනට එකතු කරන්න කියලත් භාර වෙමු...” ඈ මගේ අත මතින් ඇගේ අත තබමින් පැවසුවාය.
“අපි එහෙනම් එහෙම කරමුකෝ.....”
පිළියන්දල හරහා කැස්බෑවට දා කළුතර යෑම පහසු බව මා මතකයේ තිබු නිසා ඒ පැත්තෙන් වාහනය ඉදිරියට පදෙව්වෙමි. . වාහනය සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදේ. 
“නිර්මා...ල්...” සඳලි ගේ සිනිඳු අත ජියර් පොල්ල මත වූ මගේ අත මතින් තැබූ විට මගේ ඇඟම හිරිවැටි යනවා සේ මට දැනුණි. කුඩා කළ කොතරම් මගේ අතින් ඈ අල්ලා තිබුණත් මෙවන් හැඟීමක් කිසිදා මා හට දැනී නොතිබුණි. මම සෙමෙන් ඇය දෙස බැලුවෙමි.
“නිර්මා...ල් අහන්නකෝ...”
“කියන්නකෝ ඉතින් අහන්න...”
“ඔයා මට විහිළු කරනවා නේද...”
“මම කොහොමද රත්තරං ඔයාට විහිලු කරන්නේ...”
“අනේ යන්න ඔයාට මාව විහිළුවක් වගේ නේද...”
“ ඔයා තමයි මගේ පණ ටික... ඉතින් මන් ඔයාව විහුලුවට ගත්තා කියන්නේ මන් මාවම විහුලුවට ගත්තා කියන එකනේ...”
“නිර්මාල්.... ඔයා කොහොමද ඔච්චර රොමෑන්ටික් වුණේ... අහ.. මම නැති කාලේ කාගෙන් හරි එක්ස්පිරියන්ස් වත් ගත්තද...” සඳලි මා දෙස මුහුණ උළුක් කොට බලා පැවසුවාය.
“මමද දැන් ඔයාව විහුලුවට ගත්තේ....ම්ම්ම්...” මම ඇය දෙස බලා පැවසුවෙමි.
“නිර්මාල් ඔයත් මට කළින් ඉඳන්ම ආදරේ කළාද....”
“ඔයා දන්නවාද මම ඔයාට ආදරේ කළේ ඔයා මට ආදරේ කරන්න කළින් ඉදන්.. ඔයාට මතකයිද ඔයා දවසක් මගේ අතේ තුවාලයක ලේන්සුවක් ගැට ගැහුවා...”
“ම්ම්ම්... ඒ කවද්ද...”
“අර ඔයා මාත් එක්ක රණ්ඩුත් වුණේ ලේන්සුව ඕනේ කියලා”
“ආ.... ඔව් ඔව් ඉතින්...”
“ඒ ලේන්සුව මන් ගාව තාම තියෙනවා....”
“බොරු කියන්න එපා... ඔයා කිව්වේ ඒක නැතිවුණා කියලා.”
“බොරු නෙමේ... මන් ඔයාට එදා බොරු කිව්වේ. මන් ඒක පරිස්සම් කළා මගේ ජිවිතේ වගේ... මන් ඔයාට පෙන්නම්කො වෙලාවක. මම හැමදාම ඔයාට ආදරේ කළා සඳලි... හිතින් ආදරේ කරන එක වෙලාවකට හරිම සුන්දරයි. තව වෙලාවකට ඒක හරි දුකක්... ඔයා රට ගිය දවසේ හිතින් මන් කොච්චර ඇඩුවද කියලා දන්නේ මන් විතරයි. මාව මගෙන් ඈත් වුණා කියලා මට හිතුණා. නොකා නොබී ඔයා මට කෝල් එකක් දෙනකම් මම බලන් හිටියා.”
“ඔයා එච්චර මට ආදරේ කළාද නිර්මාල්...”
“ඔව්... ඒත් ඔයාට ආදරෙයි කියන්න මට බය හිතුනා. මම ඔයාට ආදරෙයි කියලා ඔයා මට අකමැති වුණොත් මට ඔයාගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකත් නැතිවෙලා යයි කියලා මට භය හිතුනා.ඒ නිසා ඔයාට හිතෙන් ආදරේ කර කර කාලේ ගෙව්වා. ඔයාට ආදරේ කියලා කියන්නේ කොහොමද කියලා දවස ගානේ කල්පනා කරා. ඒ වුනාට හිතපුවත් නැති වෙලාවක තාත්තා නැති වුනාට පස්සේ හැම දේම වෙනස් වුණා.”
“මම දන්නවා නිර්මාල්... ඔයාගේ ඇස්... ඔයා කියන වචන වලට වඩා මට ඔයාගේ ආදරේ තේරුම් කරලා දෙනවා...”
මම ඇය දෙස සිනා සි බැලුවෙමි. ඇගේ මුහුණ රෝස පැහැ වී තිබුණි. ඒ ඇස්වල තිබුණු අවංකකම මගේ හිත පසාරු කරමින් යනවා වගේ මට දැනුණි.
“සඳලි... ඔයා මාව දාලා යන්නේ නෑ නේද...”
“කවදාවත් නෑ...නිර්මාල්.. අර පේන කළුතර බෝධියගැන දිව්රනවා මම... මම කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ... එහෙම යනවා නම් මම මැරුණ දවසට ඒ...”
“මැරෙන කතා කියන්න එපා. ඔයා මැරෙන්න කලින් මමයි මැරෙන්...” කතාව නවත්තන්නටත් කලියෙන් ඇය ඉදිරියට පැන මගේ මුව ඇගේ අතින් වසා මා වැලක්වුවාය.
“මමයි ඔයාට කලින් මැරෙන්නේ” ඈ මට හරහට පවසන්නට විය..
“දැන් ඔය මැරෙන කතා නවත්තමු...මැට්ටි..” මම සෙමෙන් කළුතර බෝධියේ වාහන නැවතුමට කාරය පැදෙව්වෙමි.
මමත් ඇයත් වාහනයෙන් බැස කළුතර බෝධිය දෙසට පියමන්නෙමු. ඈ මගේ අතේ එල්ලිගෙනම පාර දිගට පිය මැන්නාය. පුංචි ආඩම්බර කමක්ද මගේ හිතට දැනුණි. මම පපුවත් ඉස්සරහට කරගනිමින් ආරුඪ කරගත් ගමන් ලීලාවකින් ඇයත් සමඟ ඉදිරියට අදුනෙමි.
“මහත්තයා මේ මල් ගන්න.. දහයක්  සීයයි...” පුංචි ගැහැණු ළමයෙක් මා දෙසට පැමිණ මල් මිටක් දිගු කළාය. ඒ අසරණ මුහුණ දුටු විට මල් ටිකක් මිලට නොගෙන බැරි විය. මගේ අතේ තිබුනේද සුළු මුදලකි. මම සෙමෙන් පසුම්බිය දිගහරින්නට උත්සහ ගත් විට සඳලි මා වළක්වන්නට උත්සහ කොට ඈ මුදල් දෙන්නට සැරසුණාය. නමුත් මම ඇයට මුදල් දෙන්නට නොදී රුපියල් දෙසියක් දී කුඩා ගැහැණු ළමයාගෙන් මල් මිලදී ගත්තෙමි. රුපියල් සියක් ආපසු ඇය දුන්නත් එය තියාගන්නා ලෙස මම කුඩා දැරියට පැවසුවෙමි. ඇගේ මුහුණේ සුන්දර සිනහවක් මැවුනේ ඉබේටමයි. ඇගෙන් මල් ටික ගෙන එය සඳලි වෙත මම දිගු කෙරුවෙමි. ඈ එවිට මා දෙස බැලුවේ... මුදල් තියෙනවාද කියා අසනවා මෙනි.. මම සෙමෙන් ඔලුව වනා ගැටළුවක් නැති බව හැගෙව්වෙමි. සුදු නෙලුම් මල් මිටත් රැගෙන අපි බෝධිය දෙසට පියමැන්නෙමු. මල් පුජා කර සෙමෙන් පහළ තිබු ගස් සෙවනකින් ඉඳ ගෙන බෝධිය දෙස බලා හුන්නේ හිතටත් අමුතුම සහනයක් සැහැල්ලුවක් දැනුණු බැවිණි.
“නිර්මාල් අපි මාසෙකට සැරයක් හරි කළුතර බෝධිය වදින්න එමු...”
“ඔයා කැමති නම් අපි එහෙම කරමු...”
“අපි මැරී කරලත් එහෙම කරමු...”
“ඔයා හිතලා තියෙන දුර..... අපි ඔයා වගේ චුටි දුවෙකුයි මන් වගේ ලස්සන පුතෙකුයි එක්කනුත් මේ විදියටම කළුතර බෝධිය වඳින්න එමු..” මම සෙමෙන් පහත් වී ඇගේ මුහුණ දෙස බලමින් පැවසුවෙමි. ඇගේ මුහුණ ජම්බු ගෙඩියක් මෙන් රතු වන්නට ගියේ නිමේෂයකි.
“දැන් චන්ඩි කෙල්ලට ලැජ්ජා හිතුනද...”
“අපි කළුතර බෝධිය වඳින්න ඇවිත් මේවා කියවලා පව් පුරෝගන්නවා... එන්න අපි ගාථා කියමු...”
“හොඳයි පුංචි බේබි එහෙනම් අපි ගාථා කියමු.”
“ඔන්න ආයිත් බේබි බේබි කිව්වොත් නම් මම තරහා වෙනවා හොඳේ.”
“සමාවෙන්න මගේ පණ...” මම ඇය මගේ තුරුලට ගත්තෙමි.ඉන්න තැන්ද අමතක වූ බව මට හැඟුනේ කිහිප දෙනෙක් අප දෙස බල බලා ගිය බැවිණි.
“නිර්මාල්.. අපි බීච් යමුද... පන්සලක හිනා වේවි කතා කර කර ඉන්න හොඳ නැනේ..”
“ඔව් නේද.. මටත් ඒක නම් හිතුනා. අපි ඉක්මනට පන්සිල් අරන් භාරේ වෙලා යමු.”
අප දෙදෙනා එකට පන්සිල් ගෙන බෝධියට භාරයක්ද වුණෙමු. කාලය යනවා හෝ බඩගින්නක්වත් නොදැනුන නිසා අපි වාහනය සෙමෙන් මුහුද අයිනට ගෙන ගියෙමු. වැල්ල දිගේ දෑත් අල්ලන් අපි බොහෝ වෙලා ඇවිද්දෙමු.
“සඳලි... ඔයාට බඩගිනි නැද්ද...”
“දැන් නම් මටත් බඩගිනි.. අපි ඉස්සෝ වඩේ කමුද...මගේ ආසම කෑම...ම්ම්ම්... අවුරුදු ගානකින් කෑවේ නෑ.”
මට ඉස්සෝ ඇලජික්ය. ඉස්සන් කෑ විට මා හට හුස්ම ගැනීම අපහසු වේ. කුඩා කාලයේදී එක් වරක් ඉස්සන් කා හුස්ම ගැනීමට නොහැකිව දැඩි සත්කාර ඒකකයේද සිටියෙමි. ඉන් පසු අපේ ගෙදරට කෙදිනකවත් ඉස්සන් ගෙනත් නැත. මා හට ඉස්සන් විෂ වූ නිසා අපේ ගෙදරට ඉස්සන් තහනම් විය. නමුත් ඒ අවුරුදු පහළොවකට පමණ පෙරය.  ඇයට එය පවසන්නට එවලේ මගේ සිත තරමක් අදි මදි කරන්නට විය.ඇයගේ ඉස්සන් කෑමට ඇති ආසාව නැති කිරීමටත් එවලේ මගේ සිත අදි මදි කරන්නට විය. ඒ නිසා මමත් ඇය සමග එකඟ වුණි. අසළ තිබු ඉස්සෝ වඩේ කඩයකින් අපි ඉස්සෝ වඩේ හා බීච් රොටි ගත්තෙමු. බීච් රොටි වල රසය මා අමුතුවෙන් කිවයුතු නැත. බීච් ගොස් පෙමවිඳින සියලු දෙනා බීච් රොටි වල රසය දනී. බැරි බැරි ගානේ මමත් ඉස්සෝ වඩේ කෑවෙමි. ශේප් එකේ ඉස්සා අයින් කරන්න හැදුවත් එය නොහැකි වුණි. රොටි වලට සැරට සඳලි ගේ ඇස් රතු වී  කඳුළු එයි.
“කෝ බලන්න මුණ... අම්මේ ජම්බු ගෙඩියක් වගේ...”
“සූ........ස් සූ....... මේවා සැරයි නිර්මාල්... සූ...... දිව මගේ දනවා... ඉන්න බෑ...”
“ඉන්න මන් වතුර එකක් ගේන්නම්... ගොඩක් අමාරුද... ” මම සිනාසෙමින් ඇය දෙස බලමින් හුන් තැනින් නැගිට්ටේ වතුර බෝතලයක් ගෙන ඒමටයි. එක වරම මගේ පපුව හිරවන්නට එනවා සේ මට දැනුණි. ඔලුව කැරකෙනවා සේ දැනුණි...
“නිර්මාල්......” සඳලි ගේ හඬත් සමඟින් මගේ කකුල් දෙක පණ නැතිව යනවා සේ දැනුණි.
“නිර්මාල්....අනේ නැගිටින්න.. ඇයි මේ..” සඳලි ලඟට පැමිණ කෑ ගසමින් හඬන අයුරු බොඳවූ දෑස් අතරින් මම දුටුවෙමි. නමුත් මගේ අත සෙලවීමට නොහැකිව ගල් වී ඇති වා සේ මට දැනුණි. හුස්ම ගන්න හැදුවත් හුස්ම ගන්නට නොහැකිව කැස්ස පිටවේ.... මම කොපමණ හුස්ම ගන්නට වෙරදරුවත් අවශ්‍ය තරම වාතය මගේ පෙනහළු තුළට නොලැබුණි. මගේ කකුල් වේගයෙන් ගැහෙන්නට විය. මා හට කිසිවක් නොදැනුණි... මා හට නැවත සිහිය එන වට මා සිටියේ සඳලි ගේ උකුළ  මත හිස තබාගෙනය... මා සෙමෙන් දෑස් හැරියෙමි..
“නිර්මාල්.... මොකද වුණේ...දැන් අමාරුවක් නෑ නේද...” ඈ වේගයෙන් කතා කරන්නට විය.
මම සෙමෙන් හිස ඔසවා හිඳ ගන්නට සැරසුනෙමි. නමුත් එසේම ඉන්නා ලෙස ඈ පැවසුවාය.
“මොකද වුනේ කියන්නකෝ.. මම හොඳටම බය වුණා...”
“ඉස්සෝ මට ඇලජික් සඳලි...”
“ඉතින් ඇයි දෙයියනේ කෑවේ එහෙනම්... කලිනුත් මෙහෙම වෙලා තියනවද...”
මම සෙමෙන් හිස ඔසවා නැගිට ඇය අසලින්ම හිඳ ගත්තෙමි.
“චුටි කාලේ.. මෙහෙම වුණා. ඔයා කන්න ආස නිසා ඇලජික් කියලා කියන්න හිතුනේ නෑ...”
“ඔයා නම් මහා මැට්ටෙක්... ආපහු එහෙම මෝඩ වැඩ කරන්න එපා. මැට්ටා” ඇගේ ඇස් වලින් කඳුළු බිඳු රූරා වැටේ.
“පිස්සි අඬන්න එපා දැන් ඔක්කොම හරිනේ” මම ඇගේ කඳුළු පිස දමමින් පැවසුවෙමි.
“ඒ වුනාට බලන්න මගේ පපුව තවම ගැහෙනවා...” ඈ මගේ අත ගෙන ඇගේ පපුව මත තබා පෙන්නුවාය.ඇගේ පපුව වේගයෙන් ගැහේ. ඈ මගේ අත අතහැරියත් මගේ අත තවමත් ඇගේ පපුව ළඟය.
ටික වෙලාවකට පසු ඈ මගේ මුහුණ දෙස මුහුණ උල් කරගනිමින් බලා සිටියාය.
“ඇයි අනේ ඔහොම බලන්නේ” මම ඇගෙන් විමසුවෙමි.
“අත ගන්න අදහසක් නැද්ද ඔතනින්..”
“ඈ...”
“මේ අත මෙතනින් ගන්න අදහසක් නැද්ද...” ඈ ඇගේ පපුව මත වූ මගේ අතට තට්ටු කරමින් පැවසුවාය... මගේ අත තිබු තැන මතක් වුයේ ඈ පෙන්නු පසුවය. මම වේගයෙන් මගේ අත පහලට ගෙන අහක බලාගත්තේ සැබවින්ම එවලේ ලැජ්ජාවක් දැනුණ නිසාය.
“සොරි...” මම අහක බලාගෙනම පැවසුවෙමි.
“ම්ම්ම්... ඔයාට සිහිය ගත්තේ මම සි පී ආර් කරලා....”
“මොකක්...” මම වේගයෙන් හැරී ඈ දෙස බැලුවෙමි...
“ඔව්.. මැටි වැඩ කරනවානේ. මෙතන කවුරුත් ඇත්තෙත් නෑ. අර ඉස්සෝ කඩේ ඇන්ටි විතරයි ළඟ පාතක හිටියේ... මම හොඳටම බය වුණා.මුණ රතුම රතු වෙලා ඔයාගේ... අත පයත් පණ නැති වෙලා. ටිකක් වෙලා බලලා හොස්පිට්ල් එක්ක යන්න හැදුවේ මන්.හොඳ වෙලාවට සි පි ආර් කරද්දී ඔයාට සිහිය ආවා.”
“ආපහු ඉස්සෝ වඩේ කන්න හිතෙනවා...” පහත් වී ඈ දෙස බලා මම පැවසුවේ සිනහවෙමිනි.
ඇගේ මුහුණ රතු වී ගියේ ක්ෂනිකයෙනි.
“මැට්ටා ආයිත් අහුවෙනවකෝ බලන්න...”
එකවරම ඇගේ දුරකථනය නාද වන්නට විය.
“තාත්ති නිර්මාල්.... දැන් වෙලාව තුනත් පහුවෙලා.. මොකද කියන්නේ.”
“දැන් එනවා කියන්න...”
“නෑ ඉන්නකෝ.. සද්ද කරන්න එපා හොඳේ..ශ්ශ්ශ්...”ඇගේ ඇගිල්ල මුව මත තබා නිශ්ශබ්දව ඉන්නා ලෙස සංඥා කළාය.
“හෙලෝ තාත්ති....”
“දූ කොහෙද ඉන්නේ...”
“තාත්ති මන් තවම පාටි එකේ...”
“දුවට ආපහු උණක් එහෙම ආවේ නෑ නේද..”
“නෑ තාත්ති මම ඕකේ... තව ටිකකින් මන් එනවා..”
“පරිස්සමෙන් එන්න දුව...”
“ඕකේ තාත්ති.. බායි...” ඈ දුරකථනය විසන්ධි කොට මා දෙස හැරුණාය.
“අපි දැන් යමුද නිර්මාල්... ඔයාට ඩ්‍රයිව් කරන්න අමාරුවක් නෑ නේද..”
“ම්ම්ම්... ටිකක් අමාරුයි..තව... ආපහු සී පී ආර් කළොත් නම් මේ අමාරු ගතියත් අඩුවෙයි....” මම දෙතොල් පෙන්නමින් පැවසුවේ සිනහා වෙමිණි.
“මේ වෙන මුකුත් එපාද... මම යනවා..” ඈ කාරය දෙස දුවගියාය. මමත් ඇගේ පසු පස දුව ගියේ හිතට දැනුණු අසීමිත සතුටත් සමගිනි.
අප නිවසට පැමිණෙන විට සවස හය පසු වී තිබුණි. ඇයව ගේ දොරකඩින්ම බස්සවා වාහනය ගරාජය ඇතුලටම දැම්මේ බිම තිබු වැලි ටිකත් ගසා දමා පිරිසිදු කිරීම කාටත් රහසේම කලයුතු බැවිණි. කවුරුන් හෝ වාහනය ඇතුලේ ඇති වැලි දුටුවහොත් අප දෙදෙනාම නිසැකවම බෙල්ලටම හසුවේ. වාහනයේ වැලි සියල්ල පිස දමා රෝද පවා පිරිසිදු කොට කිසිදු සැකයක් නොහිතෙන ලෙස පිරිසුදු කර දැමීමට මා හට වැඩි වෙලා ගියේ නැත.
සියල්ල අවසානයේ ඇඟ සොදාගන්නටත් ප්‍රථමයෙන් කුස්සිය පැත්තට ගියේ දවසේ සිදු වීම් දැන ගැනීමටත් මගේ හිතට වුවමනාවක් ඇති වූ බැවිනි.
“සුමනා අම්මේ....”
“කොල්ලෝ උඹ දැන්ද ආවේ...”
“හම්මේ ඔව්... පුදුම මහන්සි සුමනා අම්මේ.. කෝ සුධාරිකා...” මම වටපිට බලමින් ඇසුවේ සුමනා අම්මාගෙනි.
“ඒකි ඔය ගියේ ඉස්සරහට තේ ටිකත් අරන්. උඹටත් මම තේකක් හදන්නද...”
“එපා සුමනා අම්මේ... වතුර ටිකක් ඇඟට දාගෙනම එන්නම් මන්.”
උඹට හොඳ විදියක් බන්.
“අලුත් ආරංචි එහෙම නැද්ද සුමනා අම්මේ...”
“මොනවත් නෑ කොලුවෝ.. ඔය සිරිවර්ධන ද සිරිසේනද කවුද කියලා මහත්තයෙක් නම් ඇවිත් බර වෙලාවක් ඉඳලා ගියේ. ලොකු මහත්තයා උදේ චුටි බේබිට රැස්වීමක් කිව්වට උන් දෑ ඒකට ගිහිනුත් නැතුවද මන්දා ආපහු ආවා ගෙදර... අර කිව්ව මහත්තයා එක්ක බර වෙලාවක් මොනවද මන්දන් නෑ කියෙව්වේ.”
“කවුද සිරිවර්ධන කියලා සුදු උස මහත මහත්තයෙක්ද....”
“ඔව් බන්.. ලොකු මහත්තයා එච්චර හිත හොදින් නම් නෙමේ හිටියේ ඒ මහත්තයා ගියාට පස්සේ... උඹ දන්නවද ඒ මහත්තයාව...”
“නෑ සුමනා අම්මේ... එදා බේබිගේ පාටිය දවසේ ඇවිත් හිටිය නිසා ඇහුවේ. ඒ මොකෝ සුමනා අම්මේ ලොකු මහත්තයා අවුලෙන් හිටියේ....”
“මම දන්නේ නෑ බන් ඕවා.. මන් අහගෙන ඒ මහත්තයා ගියාට පස්සේ  සුමිත්‍රා නෝනා එක්කත් මොනවද කුටු කුටු ගානවා.. සුමිත්‍රා නොනාත් බොහොම කලබල වෙලා හිටියේ එවලේ.”
“සුමනා අම්මට මුකුත් කියන දෙයක් ඇහුනේ එහෙම නැද්ද...”
“නෑ බන්. මන් ඕවා අහන්න ගියේ නෑ”
“හ්ම්ම්ම්...සුමනා අම්මේ මන් ගිහින් එන්නම් නාගෙන....”
“හොඳා හොඳා...” තම ඇඳ සිටි රෙද්ද නැවත ඉණට තද කර ගනිමින් මා දෙස බලා පැවසුවාය.
හෙමින් සීරුවේ මුර කුටියේ පිහිටි මගේ කාමරයට එනතුරු මගේ සිතට නොයෙක් ආකාරයේ සිතුවිලි රැසක් පෝලිමේ එන්නට විය.
“ඇයි සිරිවර්ධන අංකල් හදිස්සියේම මෙහෙ ආවේ... ලොකු මහත්තයා කලබල වෙන්න තරම් මොනවද සිරිවර්ධන අංකල් මෙහෙ ඇවිත් කිව්වේ... බිස්නස් වැඩක් ද.. ඒත් සිරිවර්ධන අන්කල් කියලා තියනවානේ  මට ලොකු මහත්තයා එක්ක බිස්නස් කරන් නෑ කියලා. පොලිස් කේස් එකක්ද දන්නෙත් නෑ. නිකන් කෝල් එකක් දාලා බලන්න ඕනේ... සිරිවර්ධන අංකල් මොන ගේම් එකකට ලෑස්ති වෙනවද මන්දා. වෙලාවකට සිරිවර්ධන අංකල්ව තේරුම් ගන්නත් බෑ. ඒත් මෙච්චර උදව් කරන මනුස්සයාව මන් අවිශ්වාස කරන්නේ කොහොමද. පිස්සු හැදෙයි. මමත් පුදුම මනුස්සයෙක් තමයි.... ” සිතුවිල්ලෙන් සිතුවිල්ල මා මගේ කුටිය ළඟටම පැමිණ තිබුණි.   එකවරම දුරකථනය නාද වූ නිසා මා නැවත සිහින ලෝකයෙන් මෙලොවට පැමිණියෙමි.
“හෙලෝ.. සඳලි...”
“වොෂ් දැම්මද... මන් නම් වොෂ් දැම්මා...”
“නෑ අනේ තාම... අපිට කොහෙද ඉතින් ඔහොම සැප”
“හ්ම්ම්... සොරි....”
“මේ මොකෝ සොරි කියන්නේ...”
“මම වගේ නෙමේනේ ඔයා...”
“අනේ... රත්තරනේ ඔයා සීරියස් ගත්තද... මම විහුලුවටනේ කිව්වේ... මේ අහන්නකො මම ගියා සුමනා අම්මා බලන්න...”
“හි..හි.. ඔයා නෑගම් ගියාද... ඒක කිව්ව හැටි විතරක්...”
“ඔව්නේ ඉතින්... අද දවසම මම ගෙදර හිටියේ නෑනේ...”
“ඉතින් සුමනා මොකද කිව්වේ...”
“අද ඔයාලගේ ගෙදර කවුද අමුත්තෙක් ආවා කිව්වේ...”
“ඒ කවුද...”
“සිරිසෝම ද සිරිසේනද මන්දා...”
“ආ...සිරිවර්ධන අංකල් වෙන්න ඇති අනේ...”
“ඔව් ඔව් එහෙමද කොහෙද...”
“හි හී... එයා අපේ තාත්තිගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්...”
“මොකක්...” ඇයට වැරදිලා විය යුතුය. සිරිවර්ධන අංකල් ලොකු මහත්තයා ගැන කිසිදු පැහැදීමක් ඇති කෙනෙකු නොවේ.
“ඇයි අනේ.... සිරිවර්ධන අංකල් කියන්නේ අපේ තාත්තිගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්.. එයාලා බිස්නස් පාට්නර්ස්ලා.. මාව ඉන්ග්ලන්ඩ් යවන්න සේරම ලෑස්ති කරලා දුන්නෙත් අංකල්.. අංකල්ට මාර කනෙක්ෂන් තියෙන්නේ. අංකල් කියන්නේ අපේ තාත්තිටත් වඩා ලොකු බිලියනර් කෙනෙක්.”
ඇය කියන දෙය කුමක් දැයි මට නොවැටහේ. සියල්ල පැටලී ඇතිව මෙන් මා හට දැනුණි.
“එතකොට සිරිවර්ධන කියන්නේ ඔයාගේ තාත්තිගේ බිස්නස් පාට්නර් කෙනෙක්ද...”
“ඔව් අනේ.. ඇයි ඔයාට මාව ෂුවර් නැද්ද දැන්...”
“අයියෝ... පිස්සුද මැට්ටි... මන් නිකන් ඇහුවේ.. අනික සිරිවර්ධන අංකල් ගැන දැනගෙන මං මොනවා කරන්නද...”
“හරී... මේ පොඩඩක් බලන්නකෝ බැල්කනි ඒක දිහා...”
“මට සමාවෙන්න සඳලි ඔයාට සිරිවර්ධන අංකල් ගැන මම දන්න ඇත්ත හන්ගනවට...” මම සිතෙන් එසේ සිතුවෙමි.
“මම ඔයාට ඇත්ත ඉක්මනටම කියන්නම්.”
“මොන ඇත්තද නිර්මාල්...”
“ඇත්ත... මොන ඇත්තද...”
“ඇයි ඔයා දැන් මට කිව්වේ මට ඇත්ත කියන්නම් කියලා... ”
“අහ...ඒකද..”
“නෑ... ඔයාට ගොඩක් ස්තුති සඳලි... මන් අද ගොඩක් සතුටු වුණා.”
“මැට්ටා... ඔයා විතරක් නෙමේ... මමත් අද ගොඩක් සතුටු වුණා.”
“එහෙනම් බබා මම දැන් තියන්නම්. කවුරුහරි දැක්කොත් අපි කතා කර කර ඉන්නවා ලොකු ප්‍රශ්නයක් වෙයි...”
“ම්ම්ම්... හරී... මේ රෑ වෙලා කතා කරමූ... උම්මා...”
“හරි සඳලි බබා... බායී..”
ඇය නම් තවමත් කුඩා දැරියක් මෙන් යැයි මට සිතෙන වාර ගණන දවසින් දවස වැඩි වෙනවදෝ සිතෙයි. ඇගේ සුරතලය මාගේ හිත සනසනයි. ඇගේ ආදරය මගේ ලෝකය දැනටමත් එලිය කොට ඇත. කාන්තාරෙක තනි වුන මනුස්සයෙක්ට සිතල දිය දෝතක් ලැබුනම දැනෙන සතුට වගේ සතුටක් මගේ හිතටත් ඉබේටම ඇවිත් යැයි මට සිතේ. කොහොම වුනත් ඇයට තියෙන ආදරයත් ඒත් එක්කම තව තවත් වැඩි වෙන බවනම් නොරහසකි.
දුරකථනය නාද වෙයි... ඒ සිරිවර්ධන අංකල්ය.
“හෙලෝ අංකල්...”
“පුතා අපිට ප්ලෑන් එක පොඩඩක් වෙනස් කරන්න වෙනවා.”
“ඒ ඇයි අංකල්..”
“වැඩි විස්තර මන් පස්සේ කියන්නම්. හෙට ෆාම් හවුස් එකට එන්න.”
“එක පාරටම කොහොමද අංකල් එලියට එන්නේ..”
“පුතා මම මෙච්චර දේවල් හොයලා බල බල කරනවා.. පුතාට බැරිද ඔය පොඩි වැඩේ කරන්න.”
“සොරි අංකල් මම කොහොමහරි එන්නම්..”
“රයිට් එහෙනම් හවස තුන වෙද්දී එන්න. ඕකේ..”
“ඕකේ අංකල්...”
මේ මොකක්ද එක පාරට මේ හදිස්සිය... මගේ සිත මා හටම වද දෙන්නට විය. සිරිවර්ධන අංකල් මට කිව්වේ මෙහෙ මාස හයක් වත් මෙහෙ ඉන්න ඕනේ කියලනේ... ඒත් දැන් මොකක්ද මේ කියන්නේ... මට පෙන්නේ මෙතන මටත් යටින් ගේමක් වත් යනවද මන්දා... ඒත් මෙච්චර මට උදව් කරන කෙනා ගැන එහෙම හිතන එකත් හරි නෑ.. චි චි අංකල් එහෙම බාල වැඩ කරන මනුස්සයෙක් නෙමේ...
Copyright © 2016 ස්වර්ණමා All Right Reserved